පොරොන්දු ඉටු කිරීමේ ඇත්ත කතාව
ලංකා ඉතිහාසයේ තවත් තීරණාත්මක ජනාධිපතිවරණයක කට ළඟට අපි පැමිණ සිටිමු. දශක තුනකට ආසන්න කාලයක් තිස්‌සේ පැවති කොටි ත්‍රස්‌තවාදීන්ගේ ශාපය නිම කිරීමෙන් පසු පැවැත්වෙන ප්‍රථම ජනාධිපතිවරණය මෙයයි. මෙය මුළු රටම මැතිවරණ උණුසුමෙන් උණුසුම් වී ඇති මොහොතකි. එසේම ජනතා සිත්සතන් ආකූල ව්‍යාකූල කළ දැඩි තරගකාරී මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක අවසානයටද අප පැමිණ ඇත. ප්‍රධාන ජනපති අපේක්ෂකයන් දෙදෙනාම සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරනු ලැබුවත්, එම ප්‍රතිපත්ති ප්‍රකාශනවල අන්තර්ගතව ඇති ප්‍රතිපත්තිමය කරුණුවලටත් වඩා ජනතාව වැඩි අවධානයක් යොමු කළ බව පෙනී ගියේ මැතිවරණ වේදිකාවේ කියන කතා වලටය. එහෙත් ප්‍රධාන ජනපති අපේක්ෂකයන් දෙදෙනාම ක්‍රියාත්මක කිරීමට ජනතාවට ප්‍රතිඥා දී තිබෙන්නේ සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අන්තර්ගත කරුණුය. ඒ නිසා මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනවල ඇතුළත් ප්‍රධාන කරුණු කිහිපයකට හෝ අවධානය යොමු කිරීම ඉතා වැදගත්ය. ඒ නිසා සියලූම කරුණු කාරණා පිළිබඳව අවධානය යොමු කිරීමට අපහසු වුවත්, ප්‍රධාන ජනපති අපේක්‌ෂකයන් දෙදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල අන්තර්ගත ආර්ථිකමය වශයෙන් වැදගත් කරුණු කිහිපයකට අපි අවධානය යොමු කරමු.
ජනාධිපති අපේක්‌ෂකයන් දෙදෙනාම නොයෙකුත් සහන පොරොන්දු රාශියක් ජනතාවට ලබා දී ඇත. මෙකී සහන පොරොන්දු ගැන වෙන වෙනම කතා කරනවාට වඩා සහන පොරොන්දු ඉටු කිරීමේ පොදු යථාර්ථය පිළිබඳව අපි හඳුනාගැනීම වඩා වැදගත්ය. එවිට එකී සහන පොරොන්දු ඉටු කිරීමේ ප්‍රායෝගික තත්ත්වය පිළිබඳව ඔබටම අවබෝධ කර ගැනීමට පහසුය.
සහන පොරොන්දු ඉටු කිරීමේ දී සිදු වන ප්‍රධාන රාජ්‍ය මුල්‍ය බලපෑම් දෙකකි. එනම් රජයේ වියදම් ඉහළ යැමට තුඩු දීම සහ රාජ්‍ය ආදායම් අඩුවීමට හේතුවීම යන කරුණු දෙකයි. උදාහරණයක් ලෙස රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට යෝජනා කිරීම නිසා එය ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය වියදම් ඉහළ යයි. ප්‍රධාන ජනපති අපේක්ෂකයන් දෙදෙනාම රාජ්‍ය සේවක වැටුප් නැංවීමකට පොරොන්දු ලබා දී ඇත. වැඩි කරන වැටුපේ ප්‍රමාණය කුමක් වුවත්, පොදු ප්‍රතිඵලය රජයේ වියදම් ඉහළ යැමයි. එසේම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මත පනවා ඇති බදු තවත් අඩු කරන බවට ලබා දී ඇති පොරොන්දුව ඉටු කිරීමේ දී සිදුවන්නේ රජයේ බදු ආදායම අඩු වීමයි. මෙලෙස කවුරුන් බලයට පත් වී සහන පොරොන්දු ඉටු කළත් එහිදී රජයේ වියදම් ඉහළ යැම සහ රාජ්‍ය ආදායම් අඩු වීම යන ප්‍රතිඵලය අනිවාර්යයෙන්ම සිදු වන්නකි. මෙහි අවසාන ප්‍රතිඵලය රජයේ සමස්‌ත අයවැය හිඟය ඉහළ යැමයි. එනම් රජයේ ආදායම් සහ වියදම් අතර පරතරය ඉහළ යැමයි.
එසේ නම් සහන පොරොන්දු ඉටු කිරීම සඳහා යම් වියදමක් දැරීමට සිදු වෙනවා නම් හෝ ආදායම් අහිමි වීමක් සිදු වෙනවා නම් එහි බර දරන්නේ කවුද? මෙය අප තේරුම් ගැනීම ඉතා වැදගත්ය. රජයට වියදම් දැරීම සඳහා මුදල් සොයා ගන්නේ ජනතාවගෙන් බදු අය කර ගැනීමෙනි. අප දන්නා පරිදි අවසාන වශයෙන් රාජ්‍ය වියදම් දරනු ලබන්නේ මහා භාණ්‌ඩාගාරයයි.
මහා භාණ්‌ඩාගාරයට ආදායම් ලැබෙන්නේ ජනතාවගෙන් රැස් කරගන්නා බදු මුදල් වලිනි. රාජ්‍ය වියදම් දැරීමට රාජ්‍ය ආදායම් ප්‍රමාණවත් නොවන විට (අයවැය හිඟයක් පවතින විට) එය පියවා ගනු ලබන්නේ රජයක් විසින් ණය ගැනීමෙනි. දේශීය වශයෙන් ගත්තත් විදේශීය වශයෙන් ගත්තද එම රාජ්‍ය ණය බර පැටවෙන්නේද මහජනතාව මතය. රජයේ ණය වගකීම දරනු ලබන්නේ පොදු මහජනතාව විසිනි.
මේ නිසා සහන පොරොන්දු ඉටු කිරීමේදී අපට (හෝ යම් පිරිසකට) "යමක් දෙනවා" යන්නෙහි තේරුම ඊට සමාන මුදලක් අපෙන් නැවත ගන්නවා (බදු වශයෙන් අයකර ගන්නවා) යන්නයි. ඒ නිසා මහින්ද රාජපක්‌ෂ මහතා බලයට පත් වුවත්a ජෙනරාල් සරත් ෆොන්සේකා ජනාධිපති වුවත් මේ කියන සහන පොරොන්දු ඉටු කර ගැනීමට සිදු වන්නේ ජනතාවගෙන්ම බදු මුදල් අය කර ගැනීමෙනි. එසේ නැතුව මහින්ද රාජපක්‌ෂ හෝ සරත් ෆොන්සේකා යන මහත්වරුන්ගේ පුද්ගලික ධනයෙන් නොවේ. ඒ නිසා සෑම රාජ්‍ය වියදමකම බර දරන්නේ මහජනතාව නිසා ඔය සහන පොරොන්දු ඉටු කිරීමේ බර පැන දරන්නේ වෙන කවුරුත් නොවේ. අතිමහත් බහුතර පොදු මහජනතාවයි. එහෙත් මෙකී වියදම් පියවා ගැනීම සඳහා ආදායම් රැස් කර ගැනීමේ ක්‍රමවේද ගැන තවමත් අපට හරිහැටි පැහැදිලි නැත.
රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීම ඇතුළු තවත් සහන ගණනාවක් රාජ්‍ය සේවකයන්ට ලබාදීමට ජනාධිපති අපේක්‌ෂකයන් දෙදෙනාම පොරොන්දු වී ඇත. ජෙනරාල් සරත් ෆොන්සේකා රාජ්‍ය සේවක මාසික වැටුප රුපියල් 10,000 කින් ඉහළ නැංවීමට ද, ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා රාජ්‍ය සේවක මාසික වැටුප රුපියල් 2500 කින් ඉහළ නැංවීමට ද පොරොන්දු ලබා දී ඇත. රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි නොකළ යුතු බව හෝ රජයක් විසින් ජනතාවට කිසිදු සහනයක් ලබා නොදිය යුතු යෑයි අප කියන්නේ නැත. එහෙත් මේ සහන ලබා දීමේදී රටේ ආර්ථික තත්ත්වය, රාජ්‍ය මුල්‍ය තත්ත්වය යනාදියද සලකා බලා සමස්‌ත ජනයාගේ අසහනය වර්ධනය නොවන පරිදි සුදුසු සහන සුදුසු ප්‍රමාණවලින් ලබාදීම වඩාත් වැදගත් වේ. නැතහොත් ඔය කියන සහන නිසා රටේ සමස්‌ත ජනයාගේ අසහනය වර්ධනය වන්නට පුළුවන. කුමන අපේක්‌ෂකයා ජනපති වුවත් රජයේ නිල ආර්ථික උපදේශක වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවයි. මේ අවස්‌ථාවේ රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම පිළිබඳ මහ බැංකුවේ අදහස කුමක්‌ද? "මෑත කාලීන ආර්ථික ප්‍රවණතා" නමින් ශ්‍රී ලංකා මහ බැංකුව මෑතදී නිකුත් කළ වාර්තාවේ 42 වැනි පිටුවේ ඇති සඳහන මෙසේය.
"ඵලදායිතාවයෙහි වැඩිදියුණු කිරීම් සඳහා කාර්යක්‌ෂම වැඩ පිළිවෙළක් රහිතව රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කිරීම, අහිතකර රාජ්‍ය මූල්‍ය ප්‍රතිවිපාක සහ වැටුප් මිල දඟරය තුළින් උද්ධමනය මත පීඩනයක් ඇති කරයි. අඛණ්‌ඩ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවයක අවශ්‍යතාව පවතින උද්ධමනය සාපේක්‌ෂක පහළ මට්‌ටමක පවතින, පරිසරයක රාජ්‍ය අංශයේ වැටුප්වල සැලකිය යුතු ඉහළ නැංවීමකට ඉඩ සැලසීම එතරම් ඥාණාන්විත නොවේ."
මේ අනුව අපට පැහැදිලි වන්නේ මේ අවස්‌ථාවේදී රාජ්‍ය සේවක වැටුප් විශාල වශයෙන් ඉහළ නැංවීම සුදුසු දෙයක් නොවන බවයි. ඒ තුළින් යළිත් උද්ධමනය ඉහළ ගොස් සමස්‌ත ජනයාගේ "අසහනය" වර්ධනය විය හැකිව තිබෙන බවයි. කවරක් නමුත් විපක්‍ෂයෙන් ඉදිරිපත් වන තර්කවලින් පැවසෙන්නේ වංචාව දූෂණය නතර කිරීමෙන් සහ ඇමැති මණ්‌ඩලය අඩු කිරීමෙන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ සහන පොරොන්දු ඉටුකළ හැකි බවයි. මෙය කළ හැකි දෙයක් ද යන්නත් අපි විමසා බැලිය යුතු කරුණකි.
වංචා හා දූෂණ පිළිබඳ සඳහන් කිරීමේදී ප්‍රධාන වශයෙන් ප්‍රකාශ කරන කාරණා තුනක් ලෙස මහා පරිමාණ වැට් බදු වංචාව, හෙජින් ගිවිසුම් නිසා වන පාඩුව සහ ඇමැති මණ්‌ඩලය නඩත්තු කිරීමට අති විශාල මුදලක් දරමින් තිබීම වැනි කාරණා ප්‍රමුඛ කාරණා ලෙස ඉදිරිපත් වෙයි. මේ වැට් බදු වංචාවට තෙල් සංස්‌ථාවේ දූෂිත හෙජින් ගිවිසුම්වලට එරෙහිව පුවත්පත් කලාවේදීනි වශයෙන් අප ඕනෑ තරම් විවේචන ඉදිරිපත් කර ඇත. ඇමැති මණ්‌ඩලය වැඩි බවද ඇත්තය. මේවා තුළින් අති විශාල මහජන ධනයක් නාස්‌ති වූ බවද ඇත්තය. එහෙත් මේ අතරම මේ කරුණු කාරණා සම්බන්ධයෙන් විශාල මහජන නොමඟ යෑවීම් සිදුකරමින් තිබීම ද කනගාටුවට කරුණකි. මෙයින් ප්‍රධාන කරුණක් ලෙස ඇමැති මණ්‌ඩලය නඩත්තු කිරීමට යන වියදම පිළිබඳ අසත්‍ය තොරතුරු ඉදිරිපත්ව තිබීම පෙන්වා දිය හැකිය. මේ පිළිබඳ මුදල් හා රාජ්‍ය ආදායම් ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා "දිවයින ඉරිදා සංග්‍රහය"ට දැක්‌වූයේ මෙවන් අදහසකි.
"පසුගියදා විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් ප්‍රසිද්ධ පුවත්පත්වල පළකර තිබූ එක්‌තරා දැන්aවීමක මෙසේ සඳහන් කර තිබුණා. එනම් "ආණ්‌ඩු පක්‍ෂයේ සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුම කුමන අන්දමකින් හෝ අමාත්‍යවරයකු වී ඇත්තේ ලෝකයේ හාස්‍යයට ලක්‌වෙමිනි. සුදු අලියෙක් බඳු මේ දැවැන්ත අමාත්‍ය මණ්‌ඩලය නඩත්තු කිරීමට වාර්ෂිකව වැය කරන මුදල රුපියල් බිලියන 1890 කි." යන්නයි. මේ සඳහන සම්පූර්ණ අසත්‍යයක්. 2009 වසරේ ඇමැති මණ්‌ඩලය වෙනුවෙන් වැය වූ සත්‍ය වියදම රුපියල් බිලියන 1.89 ක් (රුපියල් කෝaටි 189 ක්) පමණයි. ඒ නිසා ඇත්ත වටිනාකම දහස් ගුණයකින් වැඩි කර මෙසේ මහජනතාව නොමඟ යවන්නේ ඇමැති මණ්‌ඩලය අඩු කිරීමෙන් සියලු ප්‍රශ්න විසදෙන බව පෙන්වා දීමටයි."
ඇමැති රංජිත් සියඹලාපිටිය කියන ඉලක්‌කම සත්‍ය නම් මුළු ඇමැති මණ්‌ඩලයම අහෝසි කළ ද ඉතුරු කරගත හැකි උපරිම මුදල රුපියල් කෝටි 189 ක් පමණකි. ජෙනරාල් සරත් ෆොන්සේකා පවසන පරිදි රාජ්‍ය සේවක මාසික වැටුප රුපියල් 10,000 කින් ඉහළ නැංවීම සඳහා පමණක් යන වාර්ෂික වියදම රුපියල් බිලියන 144 ක් (රුපියල් කෝටි 14400 ක්) වෙයි. එසේම ජෙනරාල් ෆොන්සේකා බලයට පත් වුවත් වැට් වංචාවේ මුදල් හෝ හෙජින් ගිවිසුම් නිසා සිදු වන අලාභයට අදාළ මුදල ඔය කියන ඉලක්aකම් වලින් ආර්ථිකයට අලුතින් ලැබෙන්නේ නැත. ඒ නිසා වංචා හා දූෂණ නැතිකර ඇමැති මණ්‌ඩලය අඩුකර, ජෙනරාල් සරත් ෆොන්සේකා දැනටමත් ජනයාට ලබාදී ඇති සහන පොරොන්දු ඉටුකළ හැකිය යන්න ඇත්තක් නොවේ. අවසානයේ සිදු වනු ඇති එකම දෙය මේ සියලු සහනවල බර මහජනයාට දරන්නට සිදුවීමෙන් ඒ අයගේ අසහනය වර්ධනය වීමයි.
වංචාවට, දූෂණයට සහ අක්‍රමිකතාවට ලක්‌වන සෑම රුපියලක්‌ම මහජන මුදල් නිසා ඒවා වළක්‌වා ගැනීමට ගත හැකි හැම පියවරක්‌ම ගත යුතුය. ඒවාට වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුමය. වංචා හා දූෂණ නිසා රජයට සිදු වූ අලාභයෙන් කොපමණ ප්‍රමාණයක් වුවත් නැවත අයකර ගත හැකි නම් ඒවා අය කරගත යුතුමය. ඒ ගැන කිසිම තර්කයක් නැත. වංචා හා දූෂණ නවතා, ඇමැති මණ්‌ඩලය අඩුකිරීමෙන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ සහන පොරොන්දු ඉටුකළ නොහැකිය යන්න ඇත්ත තත්ත්වය වුවත් රුපියලකින් හෝ මහජන මුදල් නාස්‌තියට හෝ දූෂණයට ලක්‌වන්නට ඉඩ දිය යුතු නැත.
වැට් බදු වංචාව වළක්‌වා ගැනීමටත්, දූෂිත හෙජින් ගිවිසුම් වලට වගකිව යුත්තන්ට එරෙහිවත් මේ රජය හරිහැටි ක්‍රියාත්මක නොවූ බවද කිව යුතුමය. ඒ නිසා දැවැන්ත මහජන මුදල් සම්භාරයක් රටට අහිමි විය.
යුද ජයග්‍රහණයෙන් පසුව රටට උදා වූයේ ස්‌වර්ණමය අවස්‌ථාවකි. ඒ අවස්‌ථාවේදී රට මෙන්ම ජාතියද එක්‌සේසත් විය. එහෙත් යුද්ධයෙන් පසුව රට ගොඩනැඟීම සඳහා උදාවූ ඒ මහඟු අවස්‌ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට මේ රජය කටයුතු නොකළ බවට වූ චෝදනාවක්‌ද තිබේ.
යුද ජයග්‍රහණය දේශපාලන වාසි තකා පමණක් යොදා ගනිමින් රට ගොඩනැඟීමට තිබූ මහඟු අවස්‌ථාව පැහැර හැරිය බව ඇතැමුන් පෙන්වා දෙන කරුණයි. මේ ජනපතිවරණය නිසා දැන් ජාතියද බෙදී වෙන් වී ඇත. කවුරු බලයට පත් වුවත් රට ගොඩනැඟීමේදී, ආර්ථික යුද්ධය ජය ගැනීමේදී මේ අවාසිදායක බලපෑම් ද නැතුවා නොවේ. එහෙත් දැන් ඒ සියල්ල සිදුව හමාරය. දැන් කිරීමට ඇත්තේ සිදුවූ හානිය හැකිතාක් අවම කර ගනිමින් ජනවාරි 27 වැනිදා සිට ජාතියේ යහපත උදෙසා රට ගොඩනැඟීමට එකමුතුව නිසි පියවර ගැනීමයි. ප්‍රධාන ජනපති අපේක්ෂකයන් දෙදෙනාම මෙය සිතට ගත යුතු බව අපේ හැඟීමයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත