.

Friday, January 22, 2010

දරුවන්ට ඇමරිකාවේ අධ්‍යාපනයට වරම් ඉල්ලුවා.....


දිනූ මේ බිම යළිත් ලේ විලක්‌ වන්නට
ඉඩ නොදිය යුතුයි
ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ


"ත්‍රස්‌තවාදය පරදා විජයග්‍රහණයෙන් දිනූ දේශය යළිත් දෙකඩ කරන්නට හෝ මේ රට යළිත් ලේ විලක්‌ කරන්නට විජාතික බලවේගවලට ඉඩ නොතැබීම මේ රටේ කෘතගුණ දන්නා පොදු මහත් ජනතාවගේ යුතුකම බව" ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.

පසුගිය (20 දා) කොටපොල, හික්‌කඩුව ප්‍රදේශ ආවරණය කරමින් "විජයග්‍රහණයේ කතාව අද සහ හෙට" මැයෙන් ආරක්‍ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ජනහමුවකදී මේ බැව් කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ආරක්‍ෂක ලේකම්වරයා මෙසේද කීය.

30 වසරක්‌ මේ රට වෙලාගත් ත්‍රස්‌තවාදය පරාජය කරන්නට 2005 ජනතා ඡන්දයෙන් බලයට පැමිණ නායකත්වය දුන් සේනාධිනායකයා එකී වගකීම සාර්ථකව නිමාකොට අද යළිත් ඔබ හමුවට පැමිණිලා. ඒ අලුත් සංවර්ධන ඉලක්‌ක රැසක්‌ එක්‌ක. අප රටක්‌ වශයෙන් ලද මේ ජයග්‍රහණය රටේත්, ජනතාවගේත් විජයග්‍රහණයක්‌ බවට පත්කරලමින් රට සංවර්ධනය කරා යොමුකිරීමට අපට අවශ්‍යයි. ඒ තුළින් සමෘද්ධිමත් රටක්‌ බිහිකොට ජයග්‍රහණයෙහි ප්‍රතිලාභ ජනතාව වෙත ලබාදීම අපේ අරමුණයි. ඉන් බැහැරව ගොස්‌ ජාත්‍යන්තර බලවේගවල මුදලට යටව රට යළිත් ලේ විලක්‌ කිරීම අපේ ප්‍රතිපත්තිය නොවෙයි. එදා යුද විජයග්‍රහණයේදී පිටුපෑ එල්.ටී.ටී.ඊ. යට ගැති කණ්‌ඩායම් සහ වෛරී දේශපාලනයට අතපොවා සිටින ඇතැමුන් සෝදාපාලුවට ලක්‌වුණු පක්‍ෂ හා අත්වැල් බැඳගෙන අද බලලෝභයෙන් වියරුව සිටිනවා. සරත් ෆොන්සේකා බටහිර බලවේගවල ඕනෑ එපාකම් පිරිමහන්ඩ ඉදිරිපත් වෙලා. මේ ක්‍රියාත්මක වෙන්නේ ජාත්‍යන්තර බලවේගවල මුදල්. එයාලට අවශ්‍ය මේ දිනූ රට යළිත් දෙකඩ කරන්නයි. ඒ සඳහා පෙරමුණේ යන්නට සරත් ෆොන්සේකාට කිසිදු සාධාරණ හේතුවක්‌ හෝ සදාචාරාත්මක අයිතියක්‌ නැහැ.

ඔබ දන්නවද රජය සරත් ෆොන්සේකාට ලබල දීල තිබුණේ අගමැති කෙනෙක්‌ටවත් නැති බලතල. ජනාධිපතිතුමන් හිටපු යුද හුමුදාපතිවරයාට වෘත්තිය මට්‌ටමෙන් සහ පෞද්ගලික මට්‌ටමින් උපරිම වශයෙන් උදව් උපකාර කරලා තියෙනවා. ඒ අවශ්‍ය පමණටත් වඩා. පසුගිය දවසක සිරස රූපවාහිනියෙ සංවාදයකට එක්‌වෙමින් ඔහු කිව්ව ඔහුට තිබුණ කියල ආරක්‍ෂකයන් 400 ක්‌, වාහන 29 ක්‌, ඩිපෙන්ඩර් 19 ක්‌, බෙන්ස්‌ කාර් 02 ක්‌, බීඑම්ඩබ්. 02 ක්‌. මේ සියල්ල ඔහු දාලයි ආවෙ කියල. ඔහු ඒ වගේ උපරිම ස්‌ථානයක තියල පහසුකම් දීල ජනාධිපතිතුමන් ක්‍රියා කළා. මීටත් වඩා මොනවාද? එතුමන්ගෙ දරුවන්ට ඇමරිකාවේ අධ්‍යාපනයට වරම් ඉල්ලුවා. එහිදී අධ්‍යාපනයට අවශ්‍ය ප්‍රතිපාදන පවා ජනාධිපතිතුමන් ඒ අයට ජනාධිපති අරමුදලෙන් ලබාදුන්නා. කොළඹ අවටින් ඉඩමක්‌ අවශ්‍ය බව සඳහන් කළ නිසාම ඒ සඳහා පර්චස්‌ 10 ක ඉඩමක්‌ රජයේ කටයුතු සඳහා වෙන්කර තිබියදී ඉතා අපහසුවෙන් ලබාදුන්නා. එය ප්‍රමාණවත් නැතැයි සඳහන් කළ නිසාත්, විශ්‍රාම සුවයෙන් එහා මෙහා ගමන් කරන්නට ඉඩකඩ අවශ්‍ය බව පවසමින් පර්චස්‌ 25 ක්‌ අවශ්‍ය බව පැවසූ නිසාත් ඒ සඳහා ලක්‍ෂ 900 ක්‌ වටිනා ඉඩමක්‌ ලබාදෙන්නට මහින්ද රාජපක්‍ෂ රජය ක්‍රියා කළා. මේ කටයුතු වලදී මේවා බොහොම අමාරුවෙන් රාජ්‍ය ආයතනත් එක්‌ක සම්බන්ධීකරණය වෙමින් ලබාදෙන්න උත්සුක වුණු මටත් දැන් කියනවා විවිධ රූපවාහිනී නාලිකාවල ආරක්‍ෂක ලේකම් ඔප්පුව කිහිල්ලෙ ගහගෙන යනවා කියලා.

ඒ විතරක්‌ නෙවෙයි. එතුමාගේ නිල කාලය අවසන් වුණාට පස්‌සෙ එතුමා භාවිත කළ වාහනය, ඒ වනවිට අවුරුද්දයි පාවිච්චි කරල තිබුණෙ. ඒ රුපියල් මිලියන 44 ක්‌ වටිනා බෙන්ස්‌ රථය රුපියල් මිලියන 02 කට ලබාදෙන්නට පවා රජය නම්‍යශීලී වුණා. මේ සියල්ල සහ රජය වෙතින් වරප්‍රසාද ලැබූ හිටපු යුද හමුදාපතිවරයා දැන් බොරු ප්‍රචාර ජනතාව අතට පත් කරමින් බලලෝභයෙන් උමතුව ක්‍රියාකරනවා. මේ ක්‍රියාත්මක වෙන්නේ ජාත්‍යන්තර බලවේගවල හෙවනැලි. අද කියන දේ නොවෙයි හෙට. හෙට කියනදේ නෙවෙයි ඊට පස්‌සේ කියන්නෙ. වගකීමෙන් තොර ප්‍රකාශ වලින් ජනතාව මුලාකරනව. ඔහු අද විනය ගැන කතාකරනව. රටේ අනාගතය ගැන කතාකරනව. ඒත් මොහොතක්‌ බලන්න ඒ ප්‍රකාශ දිහා. ඒ වාග් ප්‍රහාර දිහා. භාෂාව බොහොම අප්‍රසන්නයි. ඔහු ජනතාවට උගන්වන්නෙ වෛරය, බලලෝභය ගැන. ඔබ පසුගිය රූප මාධ්‍යයෙන් දකින්න ඇති එතුමාගෙ වාග් විලාශය. අද සමහරු කියනවා දේශපාලනමය වෙනසක්‌ ඕනලු. මම ප්‍රශ්න කරනව ඔබ බලාපොරොත්තු වන දේශපාලන වෙනස ද මේ. ප්‍රසිද්ධ වේදිකාවට නැගලා ආවේගශීලීව කෑ ගසන ඔහු ද ඔබලා බලාපොරොත්තු වන වෙනස. එතුමා කියනවා යුද ජයග්‍රහණය එතුමාගේ තනි නායකත්වය තුළින් ලැබූවක්‌ බව. නමුත් එදා ඔහු කියපු කතා ආපහු බලන්න. කොයිතරම් පරස්‌පර විරෝධීද කියලා. එදා ඔහු කිව්වා ආරක්‍ෂක ලේකම්වරයා "අපි එකට ආමි එකේ යුද්ද කරලා හොඳ පළපුරුද්දක්‌ තියෙනවා. අපි එකතු වෙලා සැලසුම් හදලා, ආයුධ ගෙනැල්ල මේ ජයග්‍රහණය ලැබුවා" කියලා ඔහු කිව්වා. අද කියනවා "ආරක්‍ෂක ලේකම්වරයාගෙ ටයි එක හිර වෙලා. කණ්‌ණාඩියක්‌ දාගෙන කෑ ගහනවයි කියලා." එයා කොම්පියුටර් ගහපු මිනිහෙක්‌ විතරලු. මෙන්න එදා සහ අද එතුමාගෙ කතාවල තියන වෙනස. මේ වෙනසද ඔබට අවශ්‍ය. එක පාරක්‌ වේදිකාවෙ කිව්ව, මගෙන් උපදෙස්‌ අරන් ශවේන්ද්‍ර සිල්වා සුදුකොඩි අරන් ආපු එල්.ටී.ටී.ඊ. නායකයො ශවේන්ද්‍ර සිල්වාගෙ බළඇණියෙ රණවිරුවන්ට අණදීල වෙඩි තියලා මැරුවා කියලා. මුළු ජාතියම අමාරුවෙ දැම්මා. ඉතින් මම අහනවා මේකද ඒ වෙනස. බොරු බේගල් ඇදබාන, ජනතාව ආමන්ත්‍රණය කරන භාෂාව නොදන්න, වගකීමෙන් තොර ප්‍රකාශ වලින් මැතිවරණ වේදිකාව පණ ගන්වන්නට උත්සාහ කරන, ඒ වෙනසට ඔබ කැමැතිද? හෘද සාක්‍ෂියට එකඟව ඔබ හිතලා බලන්න.

මේ අවස්‌ථාවට දකුණු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්‌ටිගම, දකුණු පළාත් සභා මන්ත්‍රී රණවිරු අජිත් ප්‍රසන්න, හික්‌කඩුව නගරාධිපති ප්‍රියන්ත වඩුගේ, රත්ගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආරියවංශ ගමගේ, ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්‌ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ලක්‍ෂමන් හුළුගල්ලේ, ඡේ. ආර්. පී. සූරියප්පෙරුම යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක්‌ එක්‌ව සිටියහ.