මං හසලක ඩෑම් එකේ ගල් තාච්චි ඇද්දා....,
අමරසිරි කලංසූරිය තම ජීවිත කතාව ලියමින් කියයි
අපේ අම්මා ගැන මට තියෙන්නේ හීනයක් වගේ මතකයක්. අපේ ගෙයි මැද්දේ දිග ඇරලා තිබුණු පෙට්ටියක අම්මා නිදියගෙන හිටියා. ඒ මූණ හරි ලස්සනයි. මූණ සුදුවෙන්නම පවුඩර් ගාලා තිබුණා.
අම්මා දිහා බලාගෙන ඉඳලා මට මතකයි අම්ම හරි ලස්සනයි කියලා මටම කියවුණා. අම්ම පවුඩර් ගාගෙන ගෙයි මැද්දෙ නිදියගෙන හිටිය නිසා අපි සෙල්ලම් කළා. දවස් දෙක තුනකින් අම්මගෙ පෙට්ටිය වහල ගෙනිච්චා. ඊට පස්සෙ දකින්න නැතිවුණාම තමයි දැනගත්තෙ ආයෙ අම්ම එන්නෙ නෑ කියලා.
එතකොට මගේ වයස අවුරුදු 06ක් විතර ඇති. ජීවමානව හිටපු අපේ අම්මා ගැන මට තියෙන්නේ එකම මතකයයි. ඒ මාවත් එක්ක බස් එකක නැගලා කොහේදෝ ගමනක් ගියා. අපේ අම්මා කෙට්ටුයි; සුදුයි. ඒ බස් එකේ යද්දි මගේ තොප්පිය හුළඟෙ ගියා. අම්ම බස් එක නවත්තල දුවල ගිහින් තොප්පිය ගෙනත් දුන්නා. ඊට පස්සෙ මතක අම්මා පෙට්ටියේ නිදියගන ඉන්න එක තමයි.
ඔහුගේ ඇස් දෙකේ කඳුළක් නලියනවා. එළියට පනින්න දඟලන ඒ කඳුළ කියන්නේ කුඩා කලදීම අහිමි වුණු මව් සෙනෙහසක අරුමය නේද කියලා මට හිතුණා. මේ කඳුළු සඟවගන්න හදන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන ජනප්‍රිය චරිතයක්. සිංහල සිනමාවේ එක්තරා යුගයක ආන්දෝලනාත්මක චරිතයක්. උස මහත පෞරුෂයක් නොමැති වුණත් මේ මුහුණේ එක ඉරියව්වකින් දහසක් දේ කිව හැකි රංගන පෞරුෂයක් ඔහුට තිබුණා. ඔහු අමරසිරි කලංසූරිය
කලංට පුංචි කාලේට යන්න හිතුණේ ඔහු මේ දවස්වල ආයෙත් ඔහුගේ පුංචි කාලෙත් එක්ක ජීවත්වෙන නිසා. ඒකට හේතුව ජීවිතේ කවදාවත් තමන්ට අමතක කළ නොහැකි සිදුවීම් රැසකින් සපිරි අත්දැකීම් රැසකින් පිරි ඔහුගේ ජීවිත කථාව මේ දිනවල ලියමින් සිටින නිසයි.
”මගේ සම්පූර්ණ ජීවිත කතාව ලියන්න දැන් පටන් අරන් තියෙන්නේ. මුලින්ම මගේ ළමා කාලය. ඒක හරිම දුක් ගැහැටින් පිරුණු අඳුරු යුගයක්. විශේෂයෙන්ම මම පුංචි කාලෙදිම මගේ අම්මා නැතිවීම නිසා. මම පවුලේ දෙවැනියා. අයියා කෙනෙක් ඉන්නවා. නංගිලා දෙන්නෙක් ඉන්නවා. අපේ තාත්තාට ඒ කාලේ හැටියට යමක් කමක් තිබුණා. තාත්තා කළේ ව්‍යාපාරික කටයුතු. තාත්තට කරත්ත එහෙමත් තිබුණා මට මතකයි.
අපි පුංචි කාලේ අගහිඟයක් නැතුව අපව ජීවත් කරවන්න තාත්තට පුළුවන්කම තිබුණා. ඒ කාලේ අපි පදිංචිවෙලා හිටියේ නුවර කිරිබත්කුඹුරේ. කිරිබත්කුඹුරේ ශ්‍රී ස්වර්ණජෝති විද්‍යාලයට තමයි මම ඉස්සරලම ඉස්කෝලෙ ගියේ. තාත්තා මාව හෝඩියේ පන්තියට ඇතුළත් කළා. ටික දවසකින් තාත්තට ඕන වුණා මට ඉංග්‍රීසි උගන්වන්න.
ඒ හින්ද ඔහු මාව ඒ ඉස්කෝලෙන් අස්කරල පේරාදෙණියේ ශාන්ත ක්‍රිස්ටෝපර් විද්‍යාලයට ඇතුළත් කළා. මාත් එක්කම අයියත් ඒ ඉස්කෝලෙට ආව. ඔහු අතීත මතකය දිග හරිනවා. තව නොබෝ දිනකින් ඔහුගේ ජීවිතේ කඳුළු සුසුම සේම ධෛර්යවන්තව ජීවිතේ ගොඩනඟා ගත්ත හැටි ගැනත් කියවන්න අපට පුළුවන් වේවි.
පුංචිම කාලේ අම්මා මිය ගියාම දරුවෝ හතර දෙනෙක් තනියම හදා ගැනීමත් ව්‍යාපාර කටයුතුª කර ගැනීමත් කලං ගේ තාත්තට ප්‍රශ්නයක් වෙලා තියනවා. ඒ හින්දම දරුවන්ගේ් යහපත තකා ඔහු දෙවැනි විවාහයකට එළඹිලා.
“අපි පොඩි කට්ටිය හතරදෙනා බලාගන්න තාත්තා පුංචි අම්ම කෙනෙක් ගෙනාවා. පුංචි අම්මා වුණාට එයා අම්ම වගේම අපට සැලකුවා. අපව ආදරෙන් බලාකියාගත්තා. අපිත් එයාට හරිම ආදරේ වුණා. පස්සෙ කාලෙක පුංචි අම්මටත් නංගිලා දෙන්නෙකුයි මල්ලි කෙනෙකුයි ලැබුණා. අපි හැමෝම සතුටින් හිටියා. අපේ පුංචි අම්මා අවුරුදු 92ක් ආයු වළඳලා මේ මෑතකදි තමයි මියගියේ.
ඔය අතරෙදි කලං ගේ තාත්තා ඔහුව නුවර ධර්මරාජ විද්‍යාලයට ඇතුළත් කරනවා. කලං කියන්නේ තමාගේ ජීවිතේ සුන්දරම කාලය ඔහු ගතකළේ ධර්මරාජ විද්‍යාලයේ කියලයි. ඒ කාලේ කලාව ගැන ඒ තරම් උනන්දුවක් ඔහුට තිබිලා නෑ.
නමුත් ඔහු ක්‍රීඩාවට උපන් හපනෙක්. මලල ක්‍රීඩා කරුවෙක් විදියටත්, ශිෂ්‍ය භටයෙක් විදියටත් ඔහු පාසලේ නමක් දිනාගෙන හිටියා. විෂයට බාහිර වැඩ කළාට ඔහු ඉගෙනීමත් අතපසු කළේ නෑ. ඒ හින්දම තමයි විශ්වවිද්‍යාලයට යන්න සුදුසුකම් ඇතුව ඔහු එස්.එස්.සී. පාස් වුණේ.
ජීවිතේට කරදර බාධක එන්නේ අපි නොසිතූ නොපැතූ මොහොතක. එස්.එස්.සී. පාස්වෙලා ඉන්න තරුණ කොලු ගැටයෙක් වුණු කලංටත් එතැනින් එහාට මූණ දෙන්න වෙන්නේ කරදරවලටමයි.
”මම එස්.එස්.සී. පාස්වෙලා මාස 02ක් යද්දි අපේ තාත්තා නැතිවුණා. ඊට පස්සේ අපේ ආදායම් මාර්ග සම්පූර්ණයෙන්ම ඇණහිටියා. ඒ වෙනකොට අපිට ලොරි කීපයක් තිබුණත් ඒවයින් ව්‍යාපාර කටයුතු ඉදිරියට ගෙනියන්න අපට ශක්තියක් හෝ දැනුමක් තිබුණේ නෑ. නංගිලා මල්ලිලාත් එක්ක ජීවත්වෙන්න ලොකු සටනක් කරන්න වුණා.
පුංචි අම්මට හැම දෙයක්ම කරන්න බැරි නිසා අපි කිව්වා නංගිලා මල්ලිලාත් අරගෙන ගෙදර යන්න ඛ්යලා. ඔය අතරේ මම පුංචි, පුංචි රස්සා කරන්න පටන් ගත්තා. අපි හිටපු කුලී ගෙදරින් අපිට යන්න සිද්ධ වුණා. කුලී ගෙවපු නැති නිසා. ඒකාලේ කුලී ගෙවල නෑ කියලා කුලී ගෙදරින් යන්න කියන්නේ අමුතු විදියකට. උසාවියෙන් ඇවිත් අපට ගෙයින් ඉවත් වෙන්න කියලා අණබෙර ගහනවා.
ඒ ළඟපාත හිටපු කෙනෙක් මට මහියංගණේ හසලක ඩෑම් එකක් හදන තැනක ගල් අදින්න කුලී වැඩක් හොයලා දුන්නා. මට මතකයි මම රු. 1.75 පඩියට එතැන්ට ගල් ඇද්දා. ඊට පස්සෙ මම හෝටලේක රස්සාවකට ගියා. එතනින් රුපියල් 40ක් මට දුන්නා. තව ස්ටුඩියෝ එකකත් වැඩ කළා. ඔය අතරේ මම පොඩි වෙළෙඳාමක් කරන්නත් හිතුවා.
නොසඟවා කියන දුක්බර කතාවක කොටසක් මම අහගෙන හිටියා. කලං ගේ ලාබාල තරුණ විය රළු පරළු, ගල්ගෙඩිත් එක්ක සහ වෙනත් කුලී වැඩත් එක්ක ගෙවුණේ මව්පිය සෙනෙහස රැකවරණය අකාලයේ අහිමිවී ජීවිතයට තනියම මුහුණ දෙන්නට සිදුවූ නිසා.
තාරුණ්‍යයට උරුම, ආදරය, විනෝදය, චමත්කාරය විඳින්න තරම් නිදහස් මනසක් කලංට හිමිවුණේ නෑ. ඊට වඩා ඔහුට වැදගත් වුණේ එදා වේල හොයාගෙන බඩ වියත රැක ගැනීමත් තමන්ගේ සහෝදර සහෝදරියන්ගේ බඩ වියත රැකගැනීමත්.
මේ හින්දම අවුරුදු 18 ඉවර වෙනකොටම ඔහු හමුදාවට බැඳෙනවා. ධර්මරාජේ ඉන්න කාලේ ඉඳන්ම කලං හොඳ ක්‍රීඩකයෙක් නිසාත්, ශිෂ්‍ය භටයෙක් නිසාත් පහසුවෙන්ම ඒ අවස්ථාව කලංට උදාවෙනවා. පුහුණුවෙන් පස්සෙ යාපනේ රාජකාරි කරනවා. ඒත් ටික දවසකින් ඔහු හමුදාවෙන් සමුගන්නවා.
”මම කරපු රස්සාවල් ගාණ ගණන් කරන්න බෑ. මම ‘හන්තානේ කතාව‘ චිත්‍රපටයේ රඟපාන කොටත් රෙදි බිස්නස් කරනවා. ‘අහස් ගව්ව’ කරන කාලේ කාමර කෑල්ලක් අරගෙන රෙදි කඩයක් දැම්මා. ‘අපේක්ෂා’ කරන කාලේ මට රෙදි සාප්පු දෙකක් තිබුණා.
චිත්‍රපටි කරන ගමන්ම ව්‍යාපාරත් කළා. මගේ ජීවිතේ අත්දැකීම් ගැන කතා කළොත් කියලා ඉවර කරන්න බැරි තරම්. පෞද්ගලික ජීවිතේ වගේම සිනමා ජීවිතෙත්. තුන් හතර වතාවක්ම ජීවිතේ බේරුණෙත් අනූනමයෙන්. කාලයක් හිරගෙදරට වෙලා හිටියා.
විජයත් එක්ක ගතකරපු ජීවිතේ තවත් පරිච්ඡේදයක්. ජීවිතේ දිහා ආපස්සට හැරිල බලන කොට බොහෝ දෙනකුට මුහුණ දෙන්න සිදු නොවුණු දේට මට මුහුණ දෙන්න සිද්ධවුණා. දේශපාලනය මාව සූරගෙන කාපු හැටිත් මගේ ජීවිත කතාවේ ඇතුළත් වෙනවා.”
අතීත කතා අහගෙන ඉන්නකොට කාලය යනව දැනෙන්නෙත් නෑ. කලංටත් කාලය ගැන වගක් නෑ. දුක්බර අතීතයක් වුණත් ඔහු දැන් ඒ මතකය අවදි කරන්නේ් සතුටින්. දැන් ඔහු පදිංචිවෙලා ඉන්නේ ජා-ඇළ. කලංට දැන් අවුරුදු 70යි.
හිනාවෙනකොට මූණෙ රැලි ටිකක් නැඟුණට ඔහුගේ ගමන බිමන ඉරියව් සියල්ලගේම තාමත් රැඳෙන්නේ යෞවනයේ නෂ්ටාවශේෂ. තවමත් ගමන කඩිසරයි. ඔහු ගෙදරට වෙලා විවේක ගන්නවා. සති අන්තයට නුවර වත්තට යනවා. දූ දරුවෝ විවාහ වෙලා කලං සීයා කෙනෙකුත් වෙලා. පොඩි දුව තාමත් ඉන්නේ කලං එක්ක.
කලංට අවුරුදු 70ක් වුණාට ඔහු තවමත් ඔහුගේ ශරීර සෞඛ්‍ය ගැන හිතන කෙනෙක්. මස් මාළු ආහාරයට ගන්නෙ නෑ. එළවළුයි පලතුරුයි තමයි කලංගේ ආහාරයේ ප්‍රධාන වෙන්නේ. ඒ විතරක් ද හැමදාම උදේට මීටර් 100 රවුම් 3යි 200 න් රවුම් එකයි දුවනවා. ඩිප්ස් 10ක් ගහනවා. නිරෝගී සෞඛ්‍ය සම්පන්න බවකට තවත් මොනවාද? කලං කියනවා.
’මගේ පුංචි කාලේ අඳුරු අතීතයක්’ තිබුණට දුක් මහන්සියෙන් ගොඩනඟාගත් ජීවිතය ගැන මට අප්‍රමාණ සතුටුය. නළුවෙක් විදියට අදටත් රසිකයෝ මට දක්වන ආදරයට මම ගෞරව කරනවා. නළු ජීවිතයෙන් උපරිම තෘප්තියක් ලබපු මිනිහෙක් මම. සම්මාන ලැබුවා. කාගෙත් ආදරය ගෞරවය ලැබුවා. පෞද්ගලික ජීවිතේ් සතුටින් ගතකළා. ඒ ඇති මට.