රාජ්‍ය අත්දැකීම් බහුල නායකයා ජනපති කරමු
පූජ්‍ය මහඇලගමුවේ ලංකානන්ද නාහිමි
(කුස්වල වෙද හාමුදුරුවෝ) ශ්‍රී පුෂ්පාරාමය, රද්දොළුගම, කුස්වල
ජනාධිපති මැතිවරණයට හරියටම ඇත්තේ තව දින 09කි. දේශපාලන පිටිය ඉතාමත් උණුසුම්ය. ඉරණම සොයා කරනම් ගසන්නෝ ද වැඩ අරඹා ඇත. ජයග්‍රහණය කාට හිමිවෙයිද? ජයග්‍රහණය කළ යුත්තේ කවුද? යන්න සම්බන්ධයෙන් විවිධ අය විවිධ අදහස් පළ කරති.
රටේ දේශපාලන කරුණු පිළිබඳ අවදියෙන් සිටින යතිවරයකුගේ එවැනි අදහස් දැක්වීමකට ඉඩහසර වෙන්කර දීමකි මේ.
ප්රශ්නය - දේශපාලන උණුසුමත් සමඟ යම් යම් දේශපාලකයන් පිල් මාරු කිරීම්ද අරඹා තිබෙනවා. නායක ස්වාමීන් වහන්සේ මේ ගැන දරන අදහස කෙබඳුද?
පිළිතුර(- "හරිම පිළිකුල් සහගතයි. ඒ මාගේ පෞද්ගලික මතය. නමුත් දේශපාලනයේ හැටි ඔහොම තමයි. ඕවා මේ අද ඊයේ අලුතින් ඇතිවුණු දේවල් නොවෙයිනේ. ඉස්සරත් ඔයවගේ මණ්ඩුකයෝ ඕනතරම් හිටියා.
ප්රශ්නය(- බණ්ඩාරනායක මහතාත් එක්සත් ජාතික පක්ෂය කඩාගෙන ගියානේ?
පිළිතුර - එතුමා එ. ජා.ප යෙන් ඉවත්වෙලා ශ්‍රී. ල නි. පක්ෂය බිහිකෙරුවා මිසක් එජාපය කඩාගෙන ගිහින් තවත් පක්ෂයකට සහාය දැක්වුවා නොවෙයි. එදා එජාපයෙන් ඉවත් වුණේ බණ්ඩාරනායක මහත්තයා. ඩී. ඒ. රාජපක්ෂ මහත්තයා ප්රමුඛ පිරිස. ඒ අයගේ ප්‍රධාන විවේචනය වුණේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන්. එ. ජා. ප. යේ රදළ ධනේෂ්වර ක්‍රමය ප්රතික්ක්ෂේප කරපු බණ්ඩාරනායක - රාජපක්ෂ මහත්වරු පොඩි මිනිහගේ දුක කඳුළ හඳුනන පොඩි මිනිසා වෙනුවෙන් පෙනී සිටින වාමගාමී පක්ෂයක් බිහි කළා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. එම පක්ෂය බලයට පත්වුණු සෑම අවස්ථාවකදීම රටේ දුක්විඳින ජනතාව වෙනුවෙන් කළ මෙහෙවර ප්‍රශංසනීයයි.
දැන් බලන්න වසර 30 කට වැඩි කාලයක් පැවැති මේ කුරිරු ත්‍රස්තවාදය මුලිනුපුටා දමන්න මූලික වුණෙත් ශ්‍රී . ල. නි. ප.ය ප්රමුඛව සාදාගත් සංධානය නොවේද? එදා ශ්‍රී. ල. නි. ප. ය බිහි කරන්න මුල්වෙච්ච ඩී. ඒ. රාජපක්ෂ මහත්තයාගේ පුතා මහින්ද රාජපක්ෂ මහතා තමයි ශ්‍රී. ල. නි. ප යේත් රටේත් නායකයා විදිහට එම බාරදූර කටයුත්ත කරට ගත්තේ. තමන් රට වැසියාට පොරොන්දු වූ දෙය අකුරටම ඉටුකරන්න එම නායකයා කටයුතු කළා. එදා ශ්‍රී. ල. නි. ප. ය බිහි නොවෙන්න අද අපට රටක් ඉතුරු නොවන්නටත් ඉඩ තිබුණා.
ඒනිසා බණ්ඩාරනායක - රාජපක්ෂ මහත්වරු එහෙට මෙහෙට පැන්න දේශපාලකයෝ හැටියට හඳුන්වන්න බැහැ. ඒ අය රටේ ජනතාවගේ දියුණුව වෙනුවෙන් ශ්‍රේෂ්ඨ වැඩ කොටසක් කරපු උත්තරීතර නායකයෝ.
එහෙත් 2001 වර්ෂයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ පාලන කාලයේ රටට හිතැතිව පැවැති "පරිවාස ආණ්ඩුව" කඩා බිඳ දාලා මන්ත්‍රීවරු පිරිසක් එජාපයට එක්වුණා. තම පෞද්ගලික අරමුණු මුදුන්පමුණුවා ගන්න කටයුතු කරපු අන්න ඒ අය තමයි නියම මණ්ඩුකයෝ (ගෙම්බෝ)
ඒ මගේ විග්‍රහය. කොහොම වුණත් අද දේශපාලනය ජරාවාස මට්ටමට පත්වෙලා ඉවරයි. අප එකඟ වුණත් නොවුණත් මෙවැනි තත්ත්වයන්ට මුහුණ දෙන්න වෙනවා. අවංක දේශපාලකයකුට වුවත් පවතින රැල්ලෙන් එකවර මිදෙන්න අපහසුයි.
ප්රශ්නය(- "ඔබ වහන්සේ මුලින් සඳහන් කළා ත්‍රස්තවාදය මුලිනුපුටා දමන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කටයුතු කරපු බව. ඒ සඳහා කැපවුණේ ජනාධිපතිවරයා විතරක්ම නොවෙයිනේ?
පිළිතුර - "ඔව්. ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්තුමා, රජයේ මැති ඇමැතිවරු, බැසිල් රාජපක්ෂ මහතා, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා, ත්‍රිවිධ හමුදාපතිවරු සහ පොලිස්පතිවරයා වගේම එම හමුදාවල නිලධාරීන් සහ සෙබළුන්ට එහි ගෞරවය නොඅඩුව හිමිවෙනවා. ඒ වගේම මේ සියලු දුක් ගැහැට ඉවසපු සමස්ත ලක්වාසී ජනතාවටත් ඒ ගෞරවය හිමිවිය යුතුයි. ඒ අතර ජනාධිපතිවරයාට සුවිශේෂී තැනක් හිමිවෙනවා.
ප්රශ්නය - ජෙනරාල් සරත් ෆොන්සේකා පවසන්නේ දේශපාලන නායකත්වයත් යුදමය නායකත්වයත් දෙකක් බවයි.
පිළිතුර(- රාජ්‍ය නායකයා ගත් තීන්දුවනේ යුද නායකත්වයට ක්‍රියාත්මක කරන්න වෙන්නේ. අනෙක් අතින් බැලුවොත් රාජ්‍ය නායකත්වයට තමයි රටට වගකියන්න වෙන්නේත්.
ප්රශ්නය( ජය පරාජය තීන්දු වන්නේ යුද නායකත්වයේ ක්‍රියාකාරකම් මතයි.
පිළිතුර(- දක්ෂ යුද නායකයෙක් තෝරා ගැනීමම රාජ්‍ය නායකයා ගත්a තීන්දුවක්නේ. අෙන්‍යාන්‍ය අවබෝධය මතයි මේවා සිද්ධ විය යුත්තේ. පසුගිය සමයේ එය නියමාකාරයෙන් සිද්ධ වුණා. ඒ නිසයි අපට ජයග්‍රහණය හිමිවුණේ. අපිට හිමිව තිබූ යුද නායකත්වයත් අතිවිශිෂ්ටයි. ජෙනරාල් ෆොන්සේකාත් අති දක්ෂ යුද නායකයෙක්.
ප්රශ්නය(- එකම රෑනෙ කුරුල්ලෝ දැන් කා කොටා ගන්නවා?
පිළිතුර(- කුරුල්ලො නොවෙයි එක කුරුල්ලෙක් විතරක් වෙනත් රැහැනකට හසුකරගෙන තිබෙන ආකාරයකුයි මට පේන්නේ. අනෙක් කුරුලු රෑනම තවමත් එකටම ඉන්නවා. අර රැහැනට හසුවෙච්ච කුරුල්ලා ඒ බව දන්නේ නැහැ. අනේ ඌට හතර අතෙන් විෂ පොවනවා.
ප්රශ්නය( ජෙනරාල් ෆොන්සේකා කළැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් අද රටේ විශාල ආන්දෝලනයක් පවතිනවා. එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පිලිප් ඇල්ස්ටන් පවා රජයේ නිදහසට කරුණු විමසුවා ඔබ වහන්සේ මේ ගැන දරන අදහස කුමක්ද?
පිළිතුර(- පශ්චාත් යුද සමය එසේත් නැත්නම් මානුෂීය මෙහෙයුමෙන් පසු වකවානුව අප නිසි ලෙස කළමනාකරණය කරගත යුතු වෙනවා. නැතිනම් ජයග්‍රහණයේ මිහිර අපට භුක්ති විඳින්න අපහසු වේවි. මෙතනදී කට හොඳට පරෙස්සම් කර ගන්න ඕනෑ. රට වටකර වැට බැන්දත් කට වටකර වැට බඳින්න බැහැ කියනවනේ. දැන් ඔය ප්‍රකාශය නොකළ බව ජෙනරාල්වරයා ප්‍රකාශ කරනවනේ. එහෙනම් අපි ඔයිට වැඩියේ ඔය ගැන කතා කරන්න යන්න හොඳ නැහැ. උඩ බලලා කෙළ ගහගත්තහම මොකද වෙන්නේ?
ප්රශ්නය(- හොඳයි අපි ඒ ගැන කතා නොකර ඉමු. එහෙත් දේශපාලන වේදිකාවේ වැඩිහරියක්ම පේන්න තියෙන්නේ මඩ ගසා ගැනීම්. අතීත සිදුවීම් ගැන පාපොච්ඡාරණයක යෙදනවාද කියලත් වෙලාවකට හිතෙනවා.
පිළිතුර- ඇති නොවිය යුතුම තත්ත්වයත් ඒකයි. රට සංවර්ධනය කරන්නේ කොහොමද? තමන්ගේ ප්‍රතිපත්ති මොනවාද? යන්න රට හමුවේ තබනු වෙනුවට පෞද්ගලික කෝන්තරයකට වගේ එකිනෙකා වාග් ප්‍රහාර එල්ල කර ගැනීම පුහු ක්‍රියාවක්. මේවායෙන් වෙන්නේ අපේ රටේ විනාශයට පාර කපන්න බලාගෙන ඉන්න පරදේශක්කාර ෙද්‍රdaහීන්ට ඒ සඳහා ඉඩකඩ විවර වීමයි. මේ තත්ත්වය දේශපාලකයන්ට තේරුම් ගැනීමට හැකිවේවා කියා මා ප්‍රාර්ථනා කරනවා.
ප්රශ්නය( නායක හාමුදුරුවනේá ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නැගෙන ප්‍රධාන චෝදනාවක් තමයි ඔහුගේ පවුල්වාදයක් පවතින බව?
පිළිතුර(- පවුල්වාදයක් නම් මට පේන්න නැහැ. පවුල් හාදකමක් නම් මම දකිනවා. එකම පවුලක උදවිය ගහ-මරා, ඇන - කොටා ගන්නේ නැතිව එකම එක අරමුණක් වෙනුවෙන් එකතුවෙලා ඉන්න හැටි මුළු රටටම හොඳ ආදර්ශයක්. බලන්න මීට පෙර හිටපු නායක නායිකාවන් දිහා. ඒගොල්ලන්ගේ සහෝදරයා එක පක්ෂයක. නෑදෑයෝ තව පක්ෂවල බලන්න. මේ පවුල මොනතරම් එකමුතුද කියලා. තම සහෝදරයා, තම පියා, තම ඥාතියා වෙනුවෙන් ඔවුන් එකට එක්ව කටයුතු කරන හැටි. දිවි හිමියෙන් කැපවී වැඩ කටයුතු කරන හැටි.
අපේ රටේ පවුල්වලින් කීයෙන් කීයකද මෙහෙම එකමුතුවක් දකින්න තිබෙන්නේ. අම්මාට පුතා පෙන්නන්න බැහැ. මල්ලිට අයියා පෙන්නන්න බැහැ. තාත්තලා, පුතාලා එක මතයක නැහැ. එවැනි පවුල් නේද බොහොමයක් අපට දකින්න තියෙන්නේ. ඉතින් හරි පවුල් එකමුතුවක් නැති එකාට එකා පෙන්නන්න බැරි පවුල්වල අයට මේ එකමුතුව දකිනකොට ඇහේ කටු අනිනවා වගේ ඇති. ඒකයි ඔහොම චෝදනා කරනවා ඇත්තේ.
දැන් අනෙක් අතින් බලන්න රටේ මානුෂීය මෙහෙයුම් පැවැති අවස්ථාවේ තමන්ගේ දරුවෙක් හමුදාවකට බන්දලා රට වැසියන්ට දුන්නු ආදර්ශය. ඉස්සර මිනිස්සු කිව්වේaත "යුද්දේ යුද්දේ කිව්වට රටේ නායකයන්ගෙ දරුවො ඕවට යන්නේ නැහැනේ. පොඩි මිනිස්සු වෙච්ච අපේම දරුවෝ තමයි යුද්දෙට ගිහිල්ලා හරි නැතිවෙන්නේ නායකයන්ට මේකේ රුදාවක් නැහැ" කියලා. මේ නායකයා තමන්ගෙම දරුවෙක් නාවික හමුදාවට බැන්දවීමට කටයුතු කළා. රටේ පෙර හිටපු මොන නායකයාද මෙහෙම කටයුතු කළේ. අපේ රටේ මිනිසුන්ට දැන් මේවා අමතක වෙලාද?
ප්රශ්නය( එහෙත් ස්වාමීන් වහන්සේ ඊට ප්‍රතිවිරුද්ධ අදහස් දක්වන අය පවසන්නේ එම ක්‍රියාව හුදු ප්‍රදර්ශනය සඳහා කළ ක්‍රියාවක් බවයි?
පිළිතුර(- හොඳයි ඔය කියන විදිහටම අපි මොහොතකට හිතමුකෝ ප්‍රදර්ශනය සඳහා ඔය වැඩේ කළා කියලා. ප්‍රදර්ශනය සඳහා හරි මීට පෙර රටේ මොන නායකයද තමන්ගේ දරුවෙක් හමුදාවකට බැන්දවූයේ. අපේ සමහර මිනිස්සු මොන හොඳ දේ කළත් ඒක වැරදි විදිහට තමයි බලන්න පුරුදුවෙලා තියෙන්නේ. ඇයි තමන්ගේ පක්ෂයේ කණ්නාඩිය දාලනේ බලන්නේ. ඒකයි ඔය බොහෝ ප්‍රතිවිරුද්ධ මතවලට හේතුව.
ප්රශ්නය(- අනෙක් අතට රජයේ මාධ්‍ය මගින් නිතර දෙවේලේ හුවා දක්වන සංවර්ධනය සැබෑවට මහ පොළොවේ සිදු නොවන බවටත් රජයට චෝදනා නැගෙනවා.?
පිළිතුරු(- "කාගෙන්ද? ඒත් අර කණ්ණාඩිකාරයන්ගෙන්මනේ පොඩ්ඩක් බලන්නකො පාරට, තොටට බැහැලා මේ නගරවලම ගුවන් පාළම් කීයක් නම් විවෘත කෙරුවද? නැගෙනහිර නවෝදය සහ උතුරු වසන්තය යටතේ නැගෙනහිර සහ උතුරේ සිදුවන සංවර්ධනය දකින්න නම් ඒ ප්‍රදේශවලට ගිහිල්ලාම බලන්න ඕන. මෙහෙ ඉඳන් විවේචනය කළාට වැඩක් නැහැ. දකුණේ සිදුවන සංවර්ධනය බැලුවහම ඇතිනේ ඔය චෝදනාවන්ට උත්තර ලැබෙන්න. හම්බන්තොට වරායවල් හැදෙනවා. ගුවන් තොටුපළවල් හැදෙනවා. කාර්මික ජනපද බිහිවෙනවා. දැවැන්ත මාර්ග ඉදිවෙනවා. එහෙම නොවෙනවයි කියලා කියනවා නම් ඒ මනුස්සයින්ගේ ඇස් පේන්නෙ නැතිව ඇති.
කොන්ක්‍රීට් නොකරපු පාරක් ඔබේ ගමේ හෝ තියෙනවාද කියලා නිකමට හොයලා බලන්න. පොඩි අඩිපාරවල්වල ඉඳලා දැන් කොන්ක්‍රීට් දමලා. ඉතින් මේවා පෙනි පෙනී නැහැයි කියලා කියනවා නම් ඒ මිනිහගෙ පපුව පරීක්ෂාකර බලන්න වෙනවා හදවතක් තිබෙනවද කියලා. දුෂ්ටකමට නඟන අවලාදවලින් පේන්න තියෙන සංවර්ධනය වහන්න බැහැ.
ප්රශ්නය(- නායක හාමුදුරුවනේ, ඔබ වහන්සේගේ සමස්ත ප්‍රකාශය දිහෑම සැලකිල්ලෙන් බැලුවොත් පේන්නේ ජෙනරාල්වරයාට චෝදනා නොකළාට ඔබ වහන්සේ ඉන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ දිනවිය යුතු ස්ථාවරයේ බවයි.
පිළිතුර(- "ඇයි ඒක වැරදිද? ජෙනරාල් සරත් ෆොන්සේකා සමඟ මගේ කිසිදු අමනාපයක් හෝ ඔහු පිළිබඳ දැඩි විවේචනයක් මට නැහැ. ඔහු හොඳ මනුස්සයෙක්. මේ අමනුස්සයෝ රැලක් ඔහුගේ ඔළුවට වැරදි මත ඔබ්බලා. ඒ නිසා ජනාධිපතිවරණයේදී අනිවාර්යෙන්ම ජනාධිපති මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කරවියයුතු වෙනවා.
අනෙක් අතට ජනාධිපතිවරයා කියන්නේ වසර 40 කටත් වඩා දේශපාලනයේ නියෑලිලා, අත්දැකීම් බහුල නායකයෙක්. එතුමා ප්‍රදේශයේ ජනතාව සමඟ සමිති සමාගම්වල කටයුතු කරපු සංවිධායකවරයෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්, නියෝජ්‍ය ඇමැතිවරයෙක්. ඇමැතිවරයෙක්, විපක්ෂ නායකවරයෙක්. අගමැතිවරයෙක් සහ ජනාධිපති ලෙස ලබා ඇති අත්දැකීම් කොතෙක්ද? පියවරෙන් පියවර ඉදිරියට යමින් ජය පරාජය එක ලෙස විඳ දරා ගනිමින් පාද යාත්‍රා, ජන ඝෝෂා වැනි අති දැවැන්ත ජන පෙළ ගැසීම් සංවිධාන කළ දැවැන්ත නායකයෙක්. ඉතින් වසර 40 කට අධික කාලයක් මෙසේ රටේ අස්සක් මුල්ලක් නෑර ජනතාව සමඟ මුහුවෙමින් කටයුතු කරපු මේ නායකයාට තිබෙන අත්දැකීම් දවස් 40 හේ දේශපාලකයකු වන ජෙනරාල් ෆොන්සේකාට තිබෙනවාද?
ජෙනරාල් ෆොන්සේකා කියන්නේ ලෝකයේ හොඳම යුද සෙන්පතියෙක්. එය අවිවාදිතයි. නමුත් රටක් පාලනය කරන්න අවශ්‍ය වන්නේ හොඳ පළපුරුදු රාජ්‍ය නායකයෙක් මිසක් යුද සෙන්පතියෙක් නොවේ.
අනෙක් අතට ඔය කියන යුද සෙන්පතියා කටයුතු කළේ සේනාධිනායක වූ රාජ්‍ය නායකයාගේ අනුදැනුම අනුවයි. හදිසියේවත් රාජ්‍ය නායකත්වය තීන්දු කළා නම් මානුෂීය මෙහෙයුම් නවත්වන්න ඊට අවනත වෙන්න ජෙනරාල්වරයාට සිදුවෙනවා එයයි තත්ත්වය.
රාජ්‍ය නායකත්වය පිළිබඳ කිසිදු අත්දැකීමක් නැති ජාත්‍යන්තරය සමඟ සමීප සබඳතා ගොඩනඟාගැනීමට පෙර කළ පුරුද්ද නැති, අඩුම තරමේ ගමේ ප්‍රාදේශීය සභාවක මන්ත්‍රීවරයකු ලෙස අත්දැකීම් නැති පුද්ගලයකු රාජ්‍ය නායකයා කරගන්නවාද? අත්දැකීම් බහුල රාජ්‍ය තාන්ත්‍රික ඥානයෙන් හෙබි තුන්කල් දකින ආවේගශීලී නොවන රාජ්‍ය නායකයකු වන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට නැවතත් රාජ්‍ය නායකත්වය භාර දෙනවාද? යන බුද්ධිමත් සහ නිවැරැදි තීන්දුව ජනතාව දැන් ගත යුතුයි.