.

Wednesday, January 13, 2010

ස්‌වීඩනයේ දී ආරම්භ වූ වෘක දඩයම...

ස්‌වීඩනයේ වෘකයන් මරා දැමීම විවේචනයට

අධික ගහනයක්‌ සහිත සත්ත්ව විශේෂයකින් තෝරාගත් සත්ත්වයින් ප්‍රමාණයක්‌ මරා දැමීම (cull) සිදු කිරීමේ ක්‍රමය වනජීවී කළමනාකරණයේ දී භාවිත වන උපක්‍රමයකි. එහි අරමුණ අදාළ සත්ත්ව විශේෂය හා පරිසරය අතර යම් සමතුලිතතාවක්‌ ඇති කිරීම ය. දියුණු රටවල මෙන්ම ඇතැම් අප්‍රිකානු රටවල ද මේ ක්‍රියාවලිය කලින් කලට සිදු කෙරේ. එහෙත් මෙහි ඇති සදාචාරාත්මකභාවය මෙන්ම අදාළ සත්ත්ව විශේෂයේ සංරක්‌ෂණ තත්ත්වය පිළිබඳ මත ගැටුම් නිසා මේ උපක්‍රමය පරිසරවේදීන් ගේ හා විද්‍යාඥයන් ගේ දැඩි විවේචනයට ලක්‌ වී ඇත.

මේ තත්ත්වය පසුගිය දා ස්‌වීඩනයේ දී ආරම්භ වූ වෘක දඩයමේ දී ද පැහැදිලි විය. එරට වෘක ගහනය 210කට සීමා කළ යුතු බව තීරණය කළ පාර්ලිමේන්තුව ගහනය පාලනය කිරීමට වෘකයන් 27 දෙනකු තෝරා මරා දැමීමට මාසයක පමණ කාලයක්‌ ලබා දුන්නේ ය. එA අනුව රටේ එක්‌ එක්‌ ප්‍රදේශවලින් මරා දැමිය යුතු වෘකයන් ගණන තීරණය කර තිබූ අතර එය මනාව පාලනය කර තිබූ බව ද පෙනේ. එහෙත් මේ තීරණය පිළිබඳව දැඩි විවේචන එල්ල වී තිබේ. රජය කුමන තීරණයක්‌ ගත්ත ද එරට වෘක ගහනය ප්‍රමාණවත් තත්ත්වයකට වර්ධනය වී නොමැති බැවින් මේ දඩයම යුරෝපා සංගමයේ නීතිරීතිවලට විරුද්ධ බව මෙසේ ඉදිරිපත් ව ඇති එක්‌ තර්කයකි.