.

Tuesday, December 22, 2009

සරත් ෆොන්සේකා සිරිසඟබෝ චරිතයට ඇන්දවීම..!

අද මට හිතුනා දිවයින පුවත්පතේ පසුගිය නොවැම්බරයේ 16 දින පළවූ වැදගත් අදහස් ඇතුළත් කාළීන ලිපි දෙකකට නැවත ඔබගේ අවධානය යොමුකරවන්න...
සරත් ෆොන්සේකා සිරිසඟබෝ චරිතයට ඇන්දවීම...!

පසුගිය සතියේ සිදුවූ දේවල් වලින් මහින්ද රාජපක්‍ෂත් රනිල් වික්‍රමසිංහත් යනු කොතරම් වෙනස්‌ පුද්ගලයන් දෙදෙනෙක්‌ ද යන කාරණය පැහැදිලි විය. මීට සති තුනකට පමණ පෙර ජනරාල් සරත් ෆොන්සේකා මහතාට තම අභිමතය පරිදි මාණ්‌ඩලික ප්‍රධානී තනතුරින් ඉල්ලා අස්‌විය නොහැකි බව "ද අයිලන්ඩ්" පුවත්පතින් මා පෙන්වා දෙන තුරු කිසිවකුත් මේ ප්‍රශ්නය ගැන අවධානය යොමුකර තිබුණේ නැත. මේ කාරණය හරියටම කාටත් ඒත්තු ගියේ වඩාත් සවිස්‌තරාත්මකව නැවත වරක්‌ ලිවීමට පසුව පමණි. එවැනි නීතිමය තත්ත්වයකට කොටුවී සිටි ජනරාල් ෆොන්සේකා මහතා කිසිම පැකිලීමකින් තොරව එම නීතිමය තත්ත්වයෙන් මුදාහැරීම රාජපක්‍ෂ ජනාධිපතිතුමා ගන්නා ලද සුවිශේෂ තීන්දුවකි. ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට සිටි තම ප්‍රධානම හා එකම ප්‍රතිවාදියා සම්පූර්ණයෙන්ම තමන්ගේ බලය යටතේ සිටියදී තමාටම එරෙහිව තරග කිරීම සඳහා සියලු නීතිමය බාධාවලින් නිදහස්‌ කර යෑවීම මහින්ද රාජපක්‍ෂ මිස මේ මිහිපිට වෙන කිසිම දේශපාලකයකු නොකරන දෙයකි. මේ වෙලාවේ ජනාධිපති පුටුවේ සිටියේ එ.ජා.ප. නායකයා නම් 2009 අංක 35 දරණ මාණ්‌ඩලික ප්‍රධානී පනතේ විධි විධාන උපරිම ආකාරයට භාවිත කොට ජනරාල් ෆොන්සේකා මහතා නීතිමය දඬුකඳක ගසා තබනවාට කිසිදු සැකයක්‌ නැත.

මම "ද අයිලන්ඩ්" පුවත්පතේ ජනරාල් ෆොන්සේකාට තිබුණු එම නීතිමය ප්‍රශ්නය මුල් වරට ඉතා කෙටියෙන් සඳහන් කළ පසුව වුවද බොහෝ දෙනා කියා සිටියේ මා මේ ගෙන හැර දක්‌වන "ලෝ පොයින්ට්‌" රනිල් වික්‍රමසිංහට මිස මහින්ද රාජපක්‍ෂට හරියන්නේ නැති බවයි. අභියෝගයක්‌ දුටු විට මහින්ද රාජපක්‍ෂ කරන්නේ එය මගහැරීම නොව සරම කැහිපොට ගහගෙන කෙලින්ම සටනට බැසීම බව ඔවුන් මට කීය. දැන් සිදුවී ඇත්තේ ද මහින්දගේ ප්‍රධාන ප්‍රතිවාදියා මහින්ද විසින්ම තරගයට මුදාහැර සටන ආරම්භ වී තිබීමයි. නමුත් ජනාධිපති තරගයට ඉදිරිපත් වන බව ඉල්ලා අස්‌වීමේ ලිපිය යෑවීමට පෙර ජනරාල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරයාට වාචිකව දන්වා තිබිණි. ෆොන්සේකා මහතා දේශපාලනයට පැමිණීම වැලේ වැල් නැතුව සිටි එ.ජා.ප. යට මහත් පිටිවහලක්‌ වනු නොඅනුමානය.

ජනරාල් ෆොන්සේකාට විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක හැටියට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන මෙන් ඇරයුම් ලැබුණේ ඔහු හමුදා නිලධාරියකු හැටියට සේවය කරමින් සිටියදීමය. මේ සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ පූර්වාදර්ශ ද නැතුවා නොවේ. උදාහරණයක්‌ වශයෙන් 1952 දී ඇමරිකාවේ රිපබ්ලිකන් පක්‍ෂය විසින් ජනරාල් ඩී. ඩී. අයිසන්හවර් (D.D. Eisenhower))මහතාට තම පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක හැටියට ඉදිරිපත් වන මෙන් ඇරයුම් කර සිටියේ අයිසන්හවර් ජෙනරාල්වරයා යුරෝපයේ නේටෝ (Nato))සංවිධානයේ ප්‍රධාන අණදෙන නිලධාරියා හැටියට කටයුතු කරමින් සිටියදීය. අයිසන්හවර් ජනරාල්වරයා රිපබ්ලිකන් පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක වූ පසු ඔහුට එම පක්‍ෂයේ නායකත්වය ද පක්‍ෂයේ ප්‍රතිපත්ති තමාට සරිලන ආකාරයට සකස්‌ කරගෙන තමාට අභිමත වැඩපිළිවෙළක්‌ ඇමරිකානු ජනතාවට ඉදිරිපත් කර ජනාධිපතිවරණය ජය ගැනීමෙන් පසු දිගටම ජනාධිපති පුටුවේ සිට එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමටත් හැකි විය.

ඒ අතින් බලන කල දෙවන ලෝක යුද්ධයේ ප්‍රධාන කාර්යභාරයක්‌ ඉටු කළ අයිසන්හවර් මහතාට දේශපාලනයට එන මෙන් ඇමරිකානු රිපබ්ලිකන් පක්‍ෂය ඇරයුම් කර තිබුණේ ඉතාමත්ම ගෞරවණීය ආකාරයකටය. ඇමරිකානු රිපබ්ලිකන් පක්‍ෂය විසින් එම රණවිරුවාට නිග්‍රහ කළේ නැත. ඔවුන් ඔහුව තමන්ගේ නායකයා හැටියට පිළිගත්තේය. ඔවුන් ඔහුගේ පාලනය යටතේ සිටීමට කැමැත්තක්‌ ද දැක්‌වූවේය. නමුත් වර්තමානයේ විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක හැටියට එන මෙන් ජනරාල් ෆොන්සේකාට ලැබී ඇති ආරාධනය ඊට ඉඳුරාම වෙනස්‌ය. විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා වුවත් ජනරාල් ෆොන්සේකා මහතාට එක්‌සත් ජාතික පක්‍ෂයේවත් ජනතා විමුක්‌ති පෙරමුණේවත් නායකත්වය හිමිවන්නේ නැත. රනිල් වික්‍රමසිංහ මහතා දැනටම එ.ජා.ප. ය ඇතුළු කුඩා පක්‍ෂ 11 ක්‌ විසින් පිහිටුවා තිබෙන ඊනියා එක්‌සත් ජාතික සංධානයේ ද නායකත්වය දරන නිසා අඩුම වශයෙන් එයවත් ජනරාල් ෆොන්සේකාට ලැබෙන්නේ නැත.

විපක්‍ෂයේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ 2 වන්නේ ජ.වි.පෙ. හා එ.ජා.ප. යයි. මේ පක්‍ෂ 2 න් ජ.වි.පෙ. ඇතැම් විට ජනරාල්වරයාට තම පක්‍ෂ සාමාජිකත්වය දීමට ඉදිරිපත් වීමට ඉඩ ඇත. නමුත් එ.ජා.ප. ය නම් කවදාකවත් ජනරාල් ෆොන්සේකාට තම පක්‍ෂයේ සාමාන්‍ය සාමාජිකත්වය වත් ලබා දෙන්නේ නැත. එයට හේතුව එ.ජා.ප. යේ ව්‍යවස්‌ථාවට අනුව එ.ජා.ප. යේ සාමාජිකත්වය දරණ කවුරුන් වුවත් මොනයම්ම ක්‍රමයකින් හෝ රටේ ජනාධිපති හැටියට පත් වුවහොත් පක්‍ෂ නායකත්වය ඉබේම එම පුද්ගලයාට පිරිනැමෙන වගන්තියක්‌ ඇති නිසාය. ජනරාල් සරත් ෆොන්සේකා මහතා විපක්‍ෂ සංධානයේ ජනාධිපති අපේක්‍ෂකයා වන නිසා ඔහුට එජාපයේ සාමාන්‍ය රු. 10 යේ සාමාජික පතක්‌ ලබාදීමත් භයානක දෙයක්‌ වීමට ඉඩ ඇත. එයට හේතුව එ.ජා.ප. යේ ඉතා විශාල බහුතරයක්‌ වත්මන් එ.ජා.ප. නායකයා ඉවත් කිරීමට උවමනාවෙන් සිටියත් ඔවුන්ට එසේ කිරීමට නොහැකි වී තිබෙන්නේ පක්‍ෂ නායකයා ඉවත් කිරීමට ක්‍රියා පටිපාටියක්‌ පක්‍ෂ ව්‍යවස්‌ථාව තුළ නොමැති නිසාය. එ.ජා.ප. ව්‍යවස්‌ථාවට අනුව පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්‌ඩලයට පක්‍ෂ නායකයකු පත් කළ හැක්‌කේ එම තනතුරේ පුරප්පාඩුවක්‌ තිබේ නම් පමණි. එනම් වත්මන් නායකයා එක්‌කෝ ඉල්ලා අස්‌විය යුතුය. නැතිනම් මිය යා යුතුය. ඒ ක්‍රම 2 න් හැරුණු විට එ.ජා.ප. නායකත්වය වෙනස්‌ කිරීමට වෙන කිසිදු විධිවිධානයක්‌ නොමැත.

මෙවැනි "ලෝ පොයින්ට්‌" වලින් දශක එකහමාරක්‌ මුළුල්ලේ මහත්සේ පීඩාවට පත්වී සිටින එ.ජා. පාක්‍ෂිකයන්ට ජනරාල් ෆොන්සේකාගේ පැමිණීම මහත් අස්‌වැසිල්ලක්‌ වනු ඇත. බැරිවෙලාවත් ජනරාල් සරත් ෆොන්සේකා මහතාට එ.ජා.ප. යේ සාමාන්‍ය සාමාජික පතක්‌ නිකුත් කරනු ලැබුව හොත් රටේ සිටින සියලුම යූ. එන්. පී. කාරයන් එකා මෙන් නැගී සිට දිවි පරදුවට තබා ජනරාල් ෆොන්සේකා මහතාව ජනාධිපතිවරණයෙන් දිනවීමට කටයුතු කරනු ඇත. ඒ මන්දයත් එ.ජා.ප. යේ යම් සාමාජිකයෙක්‌ ජනාධිපති වුවහොත් ඔහුට ඉබේම පක්‍ෂ නායකත්වය ද හිමිවන බවට ඇති අර වගන්තිය නිසාය. නමුත් මේ වගන්තිය ක්‍රියාත්මක වීමට නම් ජනරාල් සරත් ෆොන්සේකා මහතාට එ.ජා. පයේ සාමාජික පතක්‌ තිබිය යුතුය.

එ.ජා.ප. යේ සිටින අයට ද මේ ප්‍රශ්නය ගැන අවබෝධයක්‌ නැතුවා නොවේ. සරත් ෆොන්සේකා මහතාට මෙම මස අගදී හමුදා සේවයෙන් විශ්‍රාම ගිය පසු එ.ජා.ප. යේ සාමාජික පතක්‌ ලබා දෙනවා දැයි මා එක්‌ ප්‍රධාන පෙළේ එ.ජා.ප. පාක්‍ෂිකයකුගෙන් අසා සිටි විට ඔහු මට දුන්නේ එලොවටත් නැති මෙලොවටත් නැති පිළිතුරකි. ඔහු කියා සිටියේ ජනතා විමුක්‌ති පෙරමුණට අවශ්‍ය වී ඇත්තේ දේශපාලකයකු නොවන ජනාධිපති අපේක්‍ෂකයකු නිසා ජනරාල් ෆොන්සේකාට එ.ජා.ප. සාමාජිකත්වය දීම සුදුසු නැති බවයි. ඔහු කියා සිටියේ ජනරාල් ෆොන්සේකා එ.ජා.ප. යේ සාමාජිකයකු වුවහොත් ඔහු කාටත් "පොදු" අපේක්‍ෂකයකු නොවන බවයි.

තමන් කර ඇත්තේ සිංහ රැලකින් ඉවත් වී නරි රැලකට එකතුවීම බව ජනරාල් සරත් ෆොන්සේකා මහතාට වැඩි කලක්‌ යැමට පෙර ඒත්තු යැමට ඉඩ ඇත. ඇමරිකාවේ රිපබ්ලිකන් පාක්‍ෂිකයන් ජනරාල් අයිසන්හවර්ට දේශපාලනයට එන මෙන් ආරාධනා කර සිටි පසු ඔවුන් ඔහුට ලබා දුන්නේ කෙලින්ම පක්‍ෂ නායකත්වයමය. නමුත් ජනරාල් ෆොන්සේකා මහතාට ප්‍රධාන විපක්‍ෂයේ නායකත්වය තබා සාමාන්‍ය සාමාජිකත්වය වුවත් ප්‍රශ්නයක්‌ වනු ඇත. ජනරාල් ෆොන්සේකා මහතා මාණ්‌ඩලික ප්‍රධානියා හැටියට මේ රටේ ඉහළම හමුදා නිලධාරියා වන්නේය. මේ තනතුරට අදාළව පඩිනඩි, යාන වාහන, නිල නිවාස, සිය ගණනකින් යුත් ආරක්‍ෂක බලඇණිය ඇතුළු සියලු සැප සම්පත් හිමිය. මේ සියල්ල නිල කාලය අවසන් වීමටත් පෙර අතහැර දමා ඔහු විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා හැටියට ඉදිරිපත් වීමට එන්නේ විශාල කැපකිරීමකිනි. මේ කැපකිරීම නිසා තමන්ගේ පැත්තෙන් ද යම් අවංකභාවයක්‌ හා සද්භාවයක්‌ පෙන්වීම සඳහා එ.ජා.ප. සාමාන්‍ය සාමාජික පතක්‌ දෙසැම්බර් මාසයේ මුලදී ජනරාල් ෆොන්සේකා මහතාට භාරදිය යුතු යෑයි මම අභියෝගයක්‌ ඉදිරිපත් කරමි. අපට දැන් බලා සිටීමට වන්නේ ජනරාල් ෆොන්සේකා මහතාට නායකත්වය හිමිවනවාද යන්න ගැන නොව අඩුම වශයෙන් සාමාන්‍ය සාමාජික පතක්‌වත් ලැබෙනවාද යන ප්‍රශ්නය ගැනය.

ජනරාල් ෆොන්සේකා මෙන් දේශපාලනයට පැමිණි ඇමරිකාවේ ජනරාල් අයිසන්හවර් රිපබ්ලිකන් පක්‍ෂයේ නායකයා වූ නිසා ඔහුට තමන්ගේම වැඩපිළිවෙළක්‌ ජනතාවට ඉදිරිපත් කළ හැකි විය. නමුත් ජනරාල් ෆොන්සේකා ඔහුට සහයෝගය දෙන එක පක්‍ෂකවත් සාමාජිකයකු නොවන නිසා තමාගේ යෑයි කියා වැඩපිළිවෙළක්‌ ජනතාවට ඉදිරිපත් කළ නොහැක. ඔහුට වෙනත් පක්‍ෂ වලින් කලින් සාදාගත් වැඩපිළිවෙළකට එකඟ වීමට සිදුවනු ඇත. මෙයින් ඔහුගේ අපේක්‍ෂකකම බාල්දු වෙයි. රටේ ප්‍රධාන විධායක තනතුර සඳහා තරග කරන පුද්ගලයා තමාගේ යෑයි කිව හැකි වැඩපිළිවෙළක්‌ නැතුව අනුන්ගේ රූකඩයක්‌ හැටියට පෙනී සිටීමෙන් ජනතාවගේ පිළිගැනීම ලබාගත නොහැක.

ජනරාල් ෆොන්සේකා මහතා වෙනුවෙන් සාදා තිබෙන මෙම විපක්‍ෂ වැඩපිළිවෙළේ ප්‍රධානම අංගය වන්නේ මාස 6 ක්‌ ඇතුළත විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුය යන කාරණයයි. ඒ අනුව ජනරාල් ෆොන්සේකා මහතා තමන්ගේ සියලු තනතුරු හා වරප්‍රසාද ඉවත දමා පැමිණ සිටින්නේ ඔහු විසින්ම අහෝසි කළ යුතු තනතුරක්‌ සඳහා තරග කිරීමටය. ඒ කියන්නේ විපක්‍ෂයට අවශ්‍ය වී තිබෙන්නේ නායකයකු නොව සිරිසඟබෝ කෙනෙකි. මාස 6 ක්‌ ඇතුළත විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු යෑයි කියන ස්‌ථාවරය එ.ජා.ප. යත් ජනතා වි. පෙරමුණත් ඉතා තදින් අවධාරණය කර සිටී. මේ අනුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හැරුන විට වෙනත් කිසිදු වැඩපිළිවෙළක්‌ ජනරාල් ෆොන්සේකා මහතාට ජනතාව වෙතට ඉදිරිපත් කිරීමට නොහැක. අඩුම වශයෙන් දූෂණය හා වංචාව පාලනය කරනවාය කියාවත් ඔහුට ජනතාවට පොරොන්දු විය නොහැක. ඒ මන්ද යත් මාස 6 ක්‌ වැනි කෙටි කාලයක්‌ තුළ එවැන්නකට අතගැසිය නොහැකි බව ඕනෑම කෙනකුට ඒත්තු යන නිසාය.

මේ ආකාරයට තමන් දිනන තනතුර අහෝසි කිරීම හැරුන විට වෙනත් කිසිම වැඩපිළිවෙළක්‌ ජනතාවට ඉදිරිපත් කරන්නේ නැති අපේක්‍ෂකයකු ජනතාව ගණන් ගනීවි යෑයි බලාපොරොත්තු වීම බොරු කතාවකි. ජනරාල් සරත් ෆොන්සේකා යුද්ධයක්‌ දිනූ කීර්තිමත් යුද හමුදා නිලධාරියකු වන බව සත්‍යයකි. නමුත් ඒ ඔහුගේ අතීතයයි. ඔහුගෙන් වැඩපිළිවෙළක්‌ ඉදිරිපත් නොවන නිසා ජනතාවට ඔහුගෙන් අනාගතයක්‌ බලාපොරොත්තු විය නොහැක. තවද මොන වැඩපිළිවෙළ ඉදිරිපත් කළත් ජනරාල් ෆොන්සේකා මහතාට ඔහු දිනන තනතුරේ සිටිය හැක්‌කේ මාස 6 ක්‌ පමණි. ඉන් පසුව සිදුවන්නේ කුමක්‌ ද යන්න ඔහු දන්නේත් නැත. ජනතාව දන්නේත නැත. ඔහුගේ මාස 6 ක කාලපරිච්ඡේදයෙන් පසු බලය යන්නේ ජනතාව විසින් පිට පිට ප්‍රතික්‍ෂේප කරනු ලැබූ නරි රැලකට නම් ජනරාල් ෆොන්සේකාට ඡන්දය දීමෙන් ඇති ඵලය කුමක්‌ දැයි ජනතාව තමාගෙන්ම අසාගැනීමට පෙළඹෙනු ඇත. මාස 6 ක්‌ ඇතුළත තමන් දිනන තනතුර අහෝසි කරනවාය කියමින් ජනරාල් ෆොන්සේකා මහතාට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට සැලකිය යුතු අභියෝගයක්‌ කළ නොහැක.

ජනරාල් ෆොන්සේකා තරග කරන්නේ තමන්ගේම සේනාධිනායකයාට විරුද්ධව වීම තවත් ප්‍රශ්නයකි. ඇමරිකාවේ යුද ජයගැනීමෙන් පසු ජනරාල් යුලිසීස්‌ එස්‌. ග්‍රාන්ට්‌ (Ulysses S. Grant))හා ජනරාල් ඩී. ඩී. අයිසන්හවර් ජනාධිපති වූ බව සත්‍යයක්‌ වුවත් ඔවුන් දෙදෙනාම යුද්ධයට නායකත්වය දුන් තමන්ගේ සේනාධිනායකයන් වූ ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් (Abram Lincoin))හා ජනාධිපති ෆ්‍රeන්ක්‌ලින් රූසවෙල්ට්‌ (Franklin D. Roosevelt))හා ජනාධිපති හැරී ටෲමන් (Harry Trumon)යන අයට එරෙහිව කිසිදාක තරග කළේ නැත. ඇමරිකාවේ නම් එවැන්නක්‌ ගැන සිතීමටත් අසීරු දෙයකි. ඒ කෙසේ වෙතත් ජනරාල් ෆොන්සේකා මහතා ඡන්දය ඉල්ලන්නේ යුද ජයග්‍රහණය නිසාය. නමුත් ඔහු හැරුනවිට එම යුද ජයග්‍රහණයේ සේනාධි නායකයා ඇතුළුව අනෙක්‌ සියලුම පාර්ශවකරුවන් සිටින්නේ අනෙක්‌ පැත්තේය. මේ නිසා යුද ජයග්‍රහණය මත කෙරෙන ප්‍රවේශය ඒ තරමටම මොට වනු ඇත.

ඇරත් යුද ජයග්‍රහණයෙන් ඔබ්බට ගිය වෙනත් කරුණු කාරණාද රාජපක්‍ෂ පාර්ශ්වයට ඇත. ලංකාවේ අන් කවරදාකටවත් වඩා සංවර්ධන රැල්ලක්‌ දියත් වී තිබීම ඉන් ප්‍රධාන තැනක්‌ ගනී. 1977 න් පසු ‍ෙජ්. ආර්. ජයවර්ධන විසින් හෙලවීමටවත් නොහැකි තරම් ශක්‌තිමත් ආණ්‌ඩුවක්‌ ගොඩනගන ලද්දේ යුද ජයග්‍රහණ කිසිවක්‌ නොමැතිව තනිකරම සංවර්ධන ව්‍යාපෘති මත බවත් මතක තබාගත යුතුය. මෙහි වාසිය සීයට සීයක්‌ම යන්නේ ආණ්‌ඩුවටය.

ඇරත් යුද්ධය නවත්වන මෙන් බටහිර රටවලින් ආ සියලු බලපෑම් නොතකා යුද්ධය කරගෙන යැම නිසා ඒ වැඩපිළිවෙළ සාර්ථක විය. කොන්දක්‌ ඇති සේනාධි නායකයකු නොසිටියේ නම් ජනරාල් ෆොන්සේකා මහතාට ද දිනීමට යුද්ධයක්‌ නොමැති වනු ඇත. මේ සියල්ලටම වඩා ජනරාල් ෆොන්සේකාගේ අවාසියට සිටින කාරණය වන්නේ ඔහු අද සන්ධාන ගතවී සිටින්නේ ඔහු දිනූ යුද්ධයට විරුද්ධ වූ එම මුළු ප්‍රයත්නයටම අවමන් කළ ප්‍රසිද්ධියේම ඔහුටත් පෞද්ගලිකවම අවමන් කළ පිරිසක්‌ සමග වීමයි. මේ සම්බන්ධයෙන් ආණ්‌ඩුවට ලැබෙන ප්‍රචාරක වාසිය ජනරාල් ෆොන්සේකා මහතාටවත් ඔහුගේ අලුත් දේශපාලන මිතුරන්ටවත් කිසිසේත්ම වැලැක්‌විය නොහැක.


සී. ඒ. චන්ද්‍රප්‍රේම‍


භයානක විහිළු!


මේ මුළු ලෝකයම විශාල විහිළුකාරයකු බවට පත්වී, තම පපුව පලා හදවත ඉවතට ගෙන එහි රුධිරයෙන් චිත්‍ර ඇඳීමෙහි නිරත වන්නේ නම් එය තවදුරටත් විහිළුවක්‌ නොවන බව 19 වැනි සියවසේදී බ්‍රිතාන්‍යයේ ජීවත් වූ ජෝන් රස්‌කින් නමැති ලේඛකයා ලියා තිබේ. ලේඛන කලාවට අමතරව කලා විචාරකයකු සහ සමාජ ගවේෂකයකු ද ලෙස කටයුතු කළ රස්‌කින්ගේ කියමන අද මේ රට තුළ සිදුවෙමින් පවත්නා දෙයට සමාන කළ හැකිය. අප රට විශාල විහිළුවක්‌ බවට පත්වී තිබේ. ඉතා ලාභ දේශපාලන වාසි බලාපොරොත්තුවෙන් සංවිධානය වී සිටින පිරිසක්‌ රටේ පපුව පලා හදවත ඉවතට ගෙන ඒ රුධිරයෙන් ගොඩනැඟිලි හා තාප්ප පින්තාරු කිරීමෙහි නියුක්‌තව සිටින්නාහ.

මේ පිරිස තුළ සියලු දේශපාලන පක්‍ෂවල සාමාජිකයෝ සිටිති. සියලු කුමන්ත්‍රණවල කොටස්‌කාරයෝ සිටිති. හදවත මිරිකා ඒ රුධිරයෙන් ගෙවල් පාට කළ පසු ඒ හදවතින් වැඩක්‌ ගැනීමට බැරි බව මේ කාලකණ්‌නි කුමන්ත්‍රණකාරයෝ එක්‌කෝ නොදනිතිá නැතහොත් නොදන්නා ලෙස හැසිරෙති. අපේ මිනිසුන් පෘතුගීsසිකාරයා එළවා ගත්තේ ඊට වඩා දහස්‌ ගුණයක්‌ භයානක වූ ලන්දේසිකාරයාට බලය ලබාදීම සඳහාය. අන්තිමේදී ජාතියක්‌ වශයෙන් අපි විනාශයට පත්වූයෙමු. යුද ජයග්‍රහණයෙන් පසු ජාතියක්‌ වශයෙන් නැඟී සිටීමෙහි අවස්‌ථාව අපට ලැබිණ. දැන් සිදුවෙමින් පවත්නා සියලු කටයුතුවල අවසානය වනු ඇත්තේ ද ජාතියක්‌ වශයෙන් යළි නැඟී සිටීමට ලැබී ඇති අවසන් අවස්‌ථාවත් නැති වීමය.

ජාතිය පරිහානියට පත්ව ඇති ආකාරය පෙන්වන ප්‍රවෘත්ති දෙකක්‌ අප ඉදිරිපිට තිබේ. එයින් පළමුවැන්න ජනරාල් සරත් ෆොන්සේකා කැලණි විහාරයට ගිය අවස්‌ථාවේදී කිසියම් පිරිසක්‌ එයට විරෝධය පළ කිරීම ය. දෙවැන්න, කොළොන්නාවේ ඛණිජ තෙල් ගබඩා පරිශ්‍රයට ගිය කිසියම් පිරිසක්‌ අකුරට වැඩ කරමින් සිටි එහි සේවකයන්ට පහර දීමය. මේ පහරදීම නිසා අකුරට වැඩ කිරීම වෙනුවට වැඩ වර්ජනයක්‌ම පටන් ගැනීමට තෙල් සේවකයෝ තීරණය කළහ.

මේ දෙකම රජය කඩාකප්පල් කර රට බිඳවැට්‌ටවීම සඳහා කිසියම් කුමන්ත්‍රණකාරීන් පිරිසක්‌ කළ දෙයක්‌ වීමට ඉඩ තිබේ. කැලණි පන්සලට යැම ජනරාල් සතු මූලික අයිතියකි. ඒ අයිතියට අභියෝග කිරීමෙන් ජනරාල් කෝපවන අතර රටේ විරුද්ධකාරයෝ කුලප්පු වෙති. මේ කෝපය සහ කුලප්පුව එකතු කර රටේ පපුවට පිහියෙන් ඇන හදවත ඉවතට ගත හැකි ආයුධයක්‌ තැනිය හැකිය.

ඛණිජ තෙල් සේවකයන්ට පහරදීම නම් තුට්‌ටු භාගයක්‌වත් නොවටිනා වැඩකි. දෙවන වරටත් අසාර්ථක වූ අකුරට වැඩ කිරීම වැඩවර්ජනයක්‌ බවට පත්කරන්නේ කෙසේදැයි ඇතැම් බංකොලොත් වෘත්තීය සමිති නායකයෝ දස අතේ කල්පනා කරමින් සිටියහ. එයට අවස්‌ථාව දැන් පෑදී තිබේ. වැඩවර්ජන ආරංචියටම ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට පෝලිම් ගැසුණු වාහන දැකගත හැකි විය.

මෙහිදී පැහැදිලිව පෙනී යන කාරණයක්‌ තිබේ. යුද්ධය ජය ගැනීමට හැකි කිසිදු නායකයෙක්‌ වසර 2007 දක්‌වා පහළ වූයේ නැත. 2007 දී රට භාරගත් මහින්ද රාජපක්‍ෂ යුද්ධය ජය ගත්තේය. එසේ නිදහස ලැබූ මේ රට වෙනුවෙන් අයිතිවාසිකම් කීමට, එහි පාලනය භාරගැනීමට, රටේ ජනාධිපති වීමට කැමැත්තෙන් සිටින පුද්ගලයෝ බොහෝ ය. මේ දිනවල ක්‍රියාත්මක වන්නේ ඒ කැමැත්ත හා සම්බන්ධ වූ විවිධ ක්‍රියාදාමයන් ය. මෙය ජෝන් රස්‌කින් ලියූ ආකාරයේ විශාල විහිළුවකි. ඒ විහිළුව යට භයානක මිනිස්‌සු සැඟව සිටිති.