.

Thursday, February 11, 2010

ලෝකය නොනැවතී ඉදිරියටම ගලා යයි,,,සුසිල් ප්‍රේමරත්න මියුරු ගී සරය නිහඬ වෙයි

"රූ රැසේ අඳිනා ලෙසේ... අත් ලෙළදිදී විදුලිය පබා..."
සුසිල් ප්‍රේමරත්න මියුරු ගී සරය නිහඬ වෙයි

අති දක්‌ෂ චිත්‍ර ශිල්පියකු මෙන්ම අප කාගේත් ගෞරවාදරයට පාත්‍ර වූ කෘතහස්‌ත ගායන ශිල්පියකුද වූ සුසිල් ප්‍රේමරත්නයන් පෙරේදා (10) අභාවප්‍රාප්ත විය. එතුමන් සමග (2005 ජනවාරි මස 28 වෙනිදා පළවූ) අප එදා පැවැත්වූ පිළිසඳර මේ සමග යළි පළකරනුයේ මේ ශ්‍රේෂ්ඨ කලාකරුවාට ගෞරව පිණිසය.

"රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙළදිදී විදුලිය පබා...
රන් රසේ එක්‌ වන ලෙසේ වෙණ නාද නූ පා තබ තබා...
කම් පසේ දෙන සර ලෙසේ දෙස බල බලා නෙතඟින් සබා...
මම් කෙසේ පවසම් එසේ වර
සුර ළඳුන් දුන් රඟ සොබා..."

ඇඟිලි තුඩින් සිතාරයේ තත් පිරි මැදෙද්දී සුළඟට මුසුවන ගී හඬ කනට මිහිරකි. දැහැනකට සම වැදුණාක්‌ මෙන් එය අසා සිටින්නට ප්‍රිය උපදවයි. සිතාරයේ සත්සර හඬ මැඩගෙන නැගෙන ගැටබෙර හඬ ගීතයේ රස වින්දනයට බාධාවක්‌ නොවේ. ගීතයෙන් නැගෙන සුලලිත මධුර මනෝහර රස මිහිර, ගුත්තිලයේ සුරඟන රැඟුම් අභිමුවට අප කැඳවා ගෙන යයි.

මේ මියුරු ගී සර ඔස්‌සේ ඔබේත් මගේත් මතකයේ දිග හැරෙන සුසිල් ප්‍රේමරත්නයන්ගේ රුව ගුණ දශක පහක ඈතකට අප කැඳවා ගෙන යන්නේ නිරායසෙයෙන්.

අවුරුදු තිහ හතළිහක්‌ තිස්‌සේ නින්නාද වූ සුසිල් ප්‍රේමරත්නයන්ගේ හඬින් මෝහනය නොවූ හදවතක්‌ එකල නොවීය. අද ද නැවුම් රසයෙන් යුතුව ඒ මිහිරි හඬ අපට රස විඳිය හැක. ඇම්. සාර්ලිස්‌ මාස්‌ටර් නමින් පරසිදුව සිටි ඒ මහා චිත්‍ර ශිල්පියාගේ පුත්‍රයා වූ සුසිල් ප්‍රේමරත්නයන්ගේ අත රැඳුණ පින්සලයද කලාත්මක රූ රටා මැව්වේය. කලක්‌ ලංකාදීප පත්‍රයේ පළවූ ධර්ම ශ්‍රී කල්දේරාගේ බිලි පූජාව හා ලන්දේසි හටන කතාවලට ජීවය මුසු කළේ සුසිල් "රූ රැසේ අඳිනා ලෙසේ... ප්‍රේමරත්නයන් විසිනි. එවක ලංකාදීප පාඨකයන් මහත් අභිරුචියකින් සතිපතා කියෑවූ ඒ "චිත්‍රකතා" චිත්‍රකතා ලෝකයේ මං පෙත් විවර කරවූ බව නොරහසකි.



ලෝකය නොනැවතී ඉදිරියටම ගලා යයි. අප ගායකයා ද අද වියපත් මිනිසෙකි. වයසින් වියපත් වුවද ඔහු තුළ මීට වසර ගණනාවකට පෙර සිටි මිනිසා තවම ජීවමානව සිටියි. ඒ මුහුණ ඒ සිනාව ඒ පැහැය බිඳකුදු නොවෙනස්‌ය.

ඉතාම ලෙන්ගතුව මා පිළිගත් ඔහු ඒ ගීතවත් හඬින් "දිවයින" කලා පිටුව වෙනුවෙන් දොඩමළු විය. කලා ලොවේ මට මේ තරම් දුරක්‌ එන්නට මඟ සැලසුණේ මගේ දයාබර තාත්තා නිසා. කවුරුත් ඔහුට කිව්වෙ මහා කලාගුරු සාර්ලිස්‌ මාස්‌ටර් කියලා. පියා වැඩි හරියක්‌ම චිත්‍ර ඇන්ඳේ පන්සල්වල. ඉතාම පුංචි කාලෙ ඉඳලම තාත්තගෙ ආභාසය මට තිබුණා ඒ වුණත් මං වැඩිපුර කැමැත්තක්‌ දැක්‌වූයේ ගායන අංශයටයි.

මං මහනුවර ධර්මරාජෙ ඉගෙන ගන්න කාලෙ තමයි ගීත ගායනයට හපන්කම් පෙන්නුවේ. මං මුලින්ම පාසල් වේදිකාවේ ගයපූ ගීය මට තාම මතකයි. ඒ කාලෙ රුක්‌මණී දේවියගේ ඉතාම ජනප්‍රිය "සිරි බුද්ධගයා විහාරේ" ගීය. එයින් පස්‌සේ පාසල තුළ මට ගායකයකුගේ පිළිගැනීම ලැබුණා.

මට වසර 17 දී හර්බට්‌ එම්. සෙනෙවිරත්නයන් විසින් එවකට

බොරැල්ලේ කොටා පාරේ තිබුණ "රේඩියෝ සිලෝන්" එකට එක්‌ක ගියා. ඒක මගේ ජීවිතයේ එක්‌ සංධිස්‌ථානයක්‌. මාව ඒ මහතා රේඩියෝ සිලෝන් එකේ සිරි අයියා ට හඳුන්වා දුන්නා. යූ.ඇස්‌. පෙරෛ¨රා මහතා තමයි ඒ සිරි අයියා. එයා කරපු ඉන්ටවිව් එකේදී මං ගැයුව ගීය තමයි "සෝබා රාජ කුමාරි..."

සුසිල් ප්‍රේමරත්නයන්ග් මුහුණේ ඇඳී ගීය සිනාව ඉතාම අහිංසකයි. ඔහු මොහොතක්‌ නිහඬව ඒ කාලය සිහිපත් කළා විය හැකියි. ඔහු යළි කතාවට පිවිසුණේ ඒ පහන් හැඟීමෙන් යුතුවමයි.

මෙයින් පස්‌සේ මම රේඩියෝ සිලෝන් එකට සම්බන්ධවෙලා දිගටම ගායන ක්‌ෂේත්‍රයේ නියෑළුණා. ඒ කාලෙ වී. ඒ. ෆොන්සේකා, වී. ඒ. ලීලාවතී ඇගේ නැගණිය අනුලාවතී (චිත්‍රලේඛා) යන අය තමයි මගේ ගායන හිතවත්තු.

මේ කාලෙ කාර්ගිල්ස්‌ සමාගමේ ගේබ්‍රියෙල් මහතා මං හඳුනා ගත්තා. එයා යෝජනා කළේ ඒ අයගේ එච්. එම්. වී. තැටිවලට ගීත ගායනා කරන ලෙසයි. මං ඒ අදහසට එකඟ වුණා. දිගටම ගායනයේ නියෑළුණා. මේ කාලයේදීමයි මට ලතා නමැති ගායිකාව හමුවුණේ. ඇය තුළ තිබූ දක්‌ෂතාව මට ඉවෙන් මෙන් වැටහුණා. ඒ නිසා ඇගේ මුල් නම වූ රීටා ජෙනිවිව් කියන නම ගායන ලොවට ගැළපෙන ලෙස "ලතා" කියලා වෙනස්‌ කළේ මම. අදටත් ඇය අමතන්නෙ කවුරුත් ලතා කියලා.

ලතා සමග මම මුලින්ම ගැයුවේ "රන්වන් කරලින් පැසිලා" නයන ගීතයයි. කළු කැලණි නදී ආදී ගීතත් මං ඇය සමග ගායනා කළා. ඒවා එදා හරිම ජනප්‍රියයි.

ඇයි අද? අදටත් ඒවා හරි රසවත්. ඒ වගේම ජනප්‍රියයි.

මා කියූ වදන් ඇසූ සුසිල් ප්‍රේමරත්නයන් තුළ සතුට දෝරේ යමින් තිබුණා.

"ඔව්" මම පිළිගන්නවා.

ඔහු කීවේ නිතහමානී ලෙස.

එදා රේඩියෝ සිලෝන් එකේ "ඒ" ශ්‍රේණියේ ගායකයකු විදියට මාව තේරුවේ ඉන්දියාවෙන් පැමිණි රතන් ජනක්‌කර් මහතා විසින්. ඉන් පස්‌සේ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න මහතාගේ "පිළිරුව" චිත්‍රපටයට අසහාය ගායිකා රුක්‌මණී සමග මම ගීත ගායනා කළා.

"පෙම් ලෝකෙ රාජිනී, මනහර ගීත ගයාලා, මහදේ සෝකෙ දේ... ඒ ගීත මං ගායනා කළේ රුක්‌මණී දේවි සමගයි.

පසු කලෙක මාව ඩී. බී. ධනපාල මහතා විසින් ලංකාදීප පත්‍රයට චිත්‍ර ශිල්පියකු හැටියට තෝරා ගත්තා. මෙයින් පසු මගේ පිය උරුමය මා තුළින් අවදි වෙන්න පටන් ගත්තා කියල මට හිතෙනවා. ඒ වගේම මා තුළ මෙතෙක්‌ සිටි ගායකයා නිහඬ වුණා කියල මට හිතනෙවා.

ධනපාල මහතාගේ මඟ පෙන්වීමෙන් මම ධර්මසිරි ජයකොඩිගේ කතාවක්‌ වන "හොර හවුල" මුලින්ම ලංකාදීපයට ඇන්ඳා. එයින් පසු පාඨකයන් තුළ නව පිබිදීමක්‌ ඇතිවුණා. මේ නිසා ධනපාල මහතා චිත්‍ර කතා දෙස අමුතු ඇහැකින් බලල අවශ්‍ය අනුබලය මට ලබා දුන්නා රන් දූපත. බිලි පූජාව, ලන්දේසි හටන වැනි චිත්‍ර කතා මෙන්ම ඇස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායකයන් ලියන ලද "මහ හේනේ ඊරියකා" කතාව ද චිත්‍ර කතාවක්‌ බවට සිතුවම් කළේ මේ අග්‍රගණ්‍ය සිත්තරාය.

සුසිල් ප්‍රේමරත්නයන් ජයවන්ත්, නයනජිත්, මනෝද් යන පුතුන් තිදෙනාගේ පියාණන්ද විය. එතුමන්ට නිවන් සුව පතමු.

නාරද නිශ්ශංක