.

Sunday, February 7, 2010

ක්‍රෝධය, වෛරය, ඉරිසියාව, ගුණමකුකම හා පලිගැනීම


මාර සේනාව දෙදරයි

සාමාන්‍යයෙන් දේශපාලන පක්‍ෂ තම වාද භේද ඉවතලා යම්කිසි පොදු අරමුණක්‌ උදෙසා එකතුවීම හොඳ දෙයක්‌ හැටියට සැලකීමට අපි හුරු වී ඇත. නමුත් පසුගිය වකවානුවේ මේ රට තුළ සියලුම විපාක්‍ෂික බලවේග එකට එක්‌වීම එවැනි සුබදායක එකතුවක්‌ නොවීය. මෙහිදී ඔවුන් තම තමන් අතර තිබුණු වාද භේද ද ඇත්ත වශයෙන්ම ඉවතලෑවේ නැත. මේ එකතුව ඔවුනොවුන් අතර අෙන්‍යාන්‍ය විශ්වාසය මත පදනම් වූවක්‌ද නොවේ. එය හුදෙක්‌ම බලයේ සිටින මහින්ද රාජපක්‍ෂ බිම දමා ගැනීම සඳහා වඩාත්ම සුදුසු යෑයි සිතන අපේක්‍ෂකයකු වටේ සියලුම විපාක්‍ෂික බලවේග එකතු වීමෙන් හදන ලද මහා අශුද්ධ සන්ධානයකි. මේ සංධානය කොතරම් අශුද්ධ දැයි කිවහොත් ඡන්දයෙන් පසුව සිදුවන්නේ කුමක්‌ දැයි කියාවත් ඔවුනොවුන් අතර එකඟත්වයක්‌ නොවීය. මේ අශුද්ධ සංධානයේ අපේක්‍ෂකයා වූ සරත් ෆොන්සේකා තමාට සහයෝගය දක්‌වන එක පක්‍ෂයක්‌ සමගවත් තමන්ට ලිඛිත එකඟතාවයක්‌ නොමැති බවත් එමනිසා බලයට පත්වීමෙන් පසු එකඟතාවයන් උල්ලංඝනය කළා යෑයි කිසිවිටකත් කීමට ඉඩක්‌ නොමැති බව එක්‌ වරක්‌ නොව කිහිප වරක්‌ම ප්‍රකාශ කොට සිටියේය. මේ සංධානයේ ස්‌වරූපය ඒ කියමනෙන් කාටත් පැහැදිලි විය.

මහින්ද රාජපක්‍ෂට එරෙහිව තමුන් කිසිවකුටත් එක්‌ව හෝ තනිව මුහුණදිය නොහැකි බව දන්නා විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ එම කාර්ය භාර ගැනීමට යම් "බිලි බෝයි" කෙනෙක්‌ව ඉදිරිපත් වූ විට කුණු ගොඩකට නිලමැස්‌සන් ඇදී එන්නාක්‌ මෙන් මහින්ද රාජපක්‍ෂට එරෙහි සියලු බලවේග එකට එක්‌විය. මෙය මැතිවරණ පරාජ වලින් පසු එල්ලෙන්න වැලේ වැල් නැතුව සිටි එ.ජා.ප. ය හා ජ.වි.පෙ. මෙන්ම ලංකාව තුළ කොටි ව්‍යාපෘතිය නියෝජනය කරන දෙමළ ජාතික සංධානයේ ආර්. සම්බන්ධන් කල්ලියද රටේ අධිකරණය දේශපාලනීකරණයටත් ජනතාව ඉදිරියේ අවමානයටත් ලක්‌ කළ බවට විවේචනයට ලක්‌වූ හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා ද තමන්ට ලැබුණු අවස්‌ථාවෙන් කිසිදු වැඩක්‌ නොකර මහින්ද රාජපක්‍ෂගේ වැඩපිළිවෙළ හා සාර්ථකත්වය ගැන ඉරිසියාවෙන් පුපුරමින් සිටින හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ද එක්‌ වීමෙන් සාදන ලද අඳුරු බලවේගයකි.

ඔවුන් සියලු දෙනාටම නායකත්වය දුන්නේ මහින්ද රාජපක්‍ෂගෙන් හා ගෝඨාභය රාජපක්‍ෂගෙන් තමන්ට හැදීමට හා බැබලීමට අවශ්‍ය සියලු දේ ලබාගෙන සාධාරණ හේතුවක්‌ නොමැතිව ඔවුන්ට එරෙහිව අතිමහත් ක්‍රෝධයකින් හා වෛරයකින් පෙලෙමින් සිටි කළගුණ යන වචනයේ තේරුමවත් නොදත් පුද්ගලයෙකි. මේ රටේ සිටින සිංහල බෞද්ධ ළමුන්ට මාර සේනාව මොන වගේ බලවේගයක්‌ දැයි හැඟීමක්‌ දීමට ගුරුවරුන්ට හා දෙමවුපියන්ට අවශ්‍ය නම් මේ අශුද්ධ සංධානයේ ඡායාරූපයක්‌ ඔවුන්ට පෙන්වීමෙන් කාරණය පැහැදිලි කිරීමට හැකි වනු ඇත. ඇත්ත වශයෙන්ම එය මාර සේනාවක්‌ම වූහ. එය පදනම්ව තිබුණේද සියලු දුස්‌පිළිවෙත් මතය. ක්‍රෝධය, වෛරය, ඉරිසියාව, ගුණමකුකම හා පලිගැනීම මෙම සංධානයේ ප්‍රධානම සාරධර්ම වී තිබුණි.

මේ පෙළගැසීම දෙස බලන විට මෙහි සිටි අය අතුරෙන් රටටත් ජාතියටත් හානිකර බවෙන් අඩුම පුද්ගලයා වන්නේ එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ බව අවිවාදාත්මක කාරණයයි. ඔහුට විරුද්ධව කළ හැකි ප්‍රධානම චෝදනාව වන්නේ 2002 සටන් විරාම ගිවිසුමට අත්සන් තැබීමයි. නමුත් එයද ඔහු දුෂ්ට පරමාර්ථයකින් හෝ යටි අරමුණකින් කරන ලද දෙයක්‌ නොව සද් පරමාර්ථයෙන් කරන ලද දෙයක්‌ විය. ඒ ප්‍රයත්නය අසාර්ථක වූයේද රනිල් වික්‍රමසිංහට සහයෝගය දෙනවා යෑයි කියපු විදේශීය බලවේග කොටි සංවිධානය මෙල්ල කර ගැනීමට තමන්ගෙන් සිදුවිය යුතු දේ හරිහැටි ඉටු නොකළ නිසාය. තවද රනිල් වික්‍රමසිංහ මහතා මේ අශුද්ධ සංධානයට එකතුවී සිටියේද කාගේ හෝ ඇඟේ එල්ලී ගොස්‌ තමන්ගේ ඇඟ බේරා ගැනීමේ අහිංසක බලාපොරොත්තුව ඇතුවයි. ඔහුට මහින්ද රාජපක්‍ෂ ගැන ක්‍රෝධයක්‌ තිබුණා යෑයි කිව නොහැක. එම නිසා මහින්දගෙන් පලිගැනීමට ඔහුට උවමනාවක්‌ තිබුණා යෑයි ද කිව නොහැක. යම් ඉරිසියාවක්‌ නම් තිබෙන්නට ඇත. ඇත්ත වශයෙන්ම මහින්ද පරාජය කිරීමටවත් ඔහු මෙයින් බලාපොරොත්තු වුණා යෑයි කිව නොහැකිය. මේ කාරණාව නිසා ඔහු මේ මාර සේනාව තුළ සිටි වඩාත්ම හානිකර බවින් ද බියකරු බවින්ද අඩුම පුද්ගලයා යෑයි කිව හැක.

ජනාධිපතිවරණය අවසන් වීමෙන් පසු කුමක්‌ කරනවා දැයි මේ මාර සේනාවේ සිටි කිසිවකුටත් සැලසුමක්‌ නොතිබුණි. නමුත් දැන් මේ පශ්චාත් මැතිවරණ අවස්‌ථාව එළඹ ඇතුවා පමණක්‌ නොව පාර්ලිමේන්තු මැතිවරණය ද අත ළඟට පැමිණ ඇත.

කලින් සැලසුම් නොතිබුණද දැන් මේ තත්ත්වයන්ට මුහුණ දීමට සැලසුම් සම්පාදනය කිරීමට කාට කාටත් සිදුවී ඇත. මෙතැනදී මාර සේනාවේ ප්‍රධානම පාර්ශවකරු වන එ.ජා.ප. යත් සෙසු බලවේගත් අතර සීතල යුද්ධයක්‌ ඉස්‌මතුවී ඇත. මාර සේනාවට සෙනඟ සැපයූවේ එ.ජා.ප. යෙනි. ක්‍රෝධය, වෛරය, ඉරිසියාව, පලිගැනීමේ ෙච්තනා හා බල ලෝභය සපයන ලද්දේ අනෙක්‌ පාර්ශවකරුවන් විසිනි.

ජනාධිපතිවරණය පරාජය වීමෙන් පසු තමන්ගේ අනන්‍යතාවය රැකගැනීමට එ.ජා.ප. යට උවමනාවක්‌ ඇතිවී ඇත. එම පක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්‌ඩායම තුළත් දිස්‌ත්‍රික්‌ නායකයන් හා පක්‍ෂ

ජ්‍යෙෂ්ඨයන් අතරත් ඇතිවී තිබෙන මතය වන්නේ එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා අලියා ලකුණ යටතේ කොළපාට ද සහිතව තරග කළ යුතු බවයි. මාරසේනාවේ සෙසු පිරිස්‌ ද අලියා ලකුණ යටතේ තරග කිරිම ගැන ඔවුන්ගේ විරුද්ධත්වයක්‌ නැත. නමුත් හංසයා ලකුණ යටතේ තරග කොට තවදුරටත් තමන්ගේ පක්‍ෂයේ අනන්‍යතාවය සහ බලය හීනකර ගැනීමට එරෙහිව මතයක්‌ එ.ජා.ප. ය තුළ ගොඩනැගී ඇත. මේ නිසා පැහැදිලි පිල් බෙදීමක්‌ මෙහි දක්‌නට ඇත. එක්‌ පාර්ශවයක සිටින්නේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එ.ජා.ප. යයි. අනෙක්‌ පාර්ශවයේ සිටින්නේ සරත් ෆොන්සේකා, ජ.වි.පෙ. ටිරාන් අලස්‌, සේනක ද සිල්වා වැනි චරිතයි. අලියා ලකුණ යටතේ තරග කිරිමට සූදානම් වී සිටින එ.ජා.ප. ය එම ස්‌ථාවරයෙන් ඉවත් කරගෙන යළිත් හංසයා ලකුණ යටතේම ජනාධිපතිවරණයට ඉදිරිපත් වුනු මාර සේනාව හැටියටම පාර්ලිමේන්තු මැතිවරණයට ද ඉදිරිපත් විය යුතු බවට අනෙක්‌ පාර්ශවයෙන් විශාල ප්‍රයත්නයක්‌ දරමින් සිටී. මේ සඳහා ඔවුන් බලපෑම් එල්ල කළ හැකි සෑම තැනකටම බලපෑම් කරමින් සිටී.

ඉකුත් සතියේ භික්‍ෂුන් වහන්සේලා කීපනමක්‌ කරු ජයසූරිය මහතා ඔහුගේ නිවසේදී හමුවී ඇතිකර ගන්නා ලද විපක්‍ෂ සංධානය එලෙසින්ම පවත්වාගෙන යා යුතු බවත් ජෙනරාල් ෆොන්සේකා තනි නොකළ යුතු බවත් පවසා ඇත. එම හමුවට ජයසූරිය මහතා රනිල් වික්‍රමසිංහට ද ආරාධනය කොට තිබිණි. එම භික්‍ෂූන් වහන්සේලාගේ ඉල්ලීමට පිළිතුරු වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ තමන් මේ වන විට විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්‌ම කර තිබෙන බවයි. පොදු අපේක්‍ෂකයාගේ ඡන්ද ව්‍යාපාරයට මුදල් සොයා දුන්නේ තමන් බවත් විපක්‍ෂ සංධානයේ විශාලම පක්‍ෂය එ.ජා.ප. ය වුවත් ජ.වි.පෙ. ට අපහසුතාවයක්‌ ඇති නොවන ආකාරයට තමන් අගමැතිකම පවා ප්‍රතික්‍ෂේප කළ බවත්, ජෙනරාල්ව දිනවීමට තමන් ද රට වටේ ගිය බවත් පැහැදිලි කර සිටියේය. මේ පරාජයෙන් පසු තවදුරටත් හංසයා ලකුණ යටතේ තරග කරනවාද නැත්ද යන්න ගැන තමන්ට තනි තීන්දුවක්‌ ගත නොහැකි බවත් ඒ තීන්දුව ගත හැක්‌කේ එ.ජා.ප. යේ බහුතර මතයට අනුව පමණක්‌ බවත් පවසා ඇත.

මේ සම්බන්ධයෙන් තීරණයක්‌ ගැනීම සඳහා එ.ජා.ප. යේ කෘත්‍යාධිකාරි මණ්‌ඩලය මෙම මස 11 වැනිදා හමුවීමට නියමිතය. නමුත් ඒ අතරතුර දෙපාර්ශවයෙන්ම විවිධ යෝජනා ඉදිරිපත් වෙමින් පවතී. දෙපාර්ශවය එකට තබාගැනීමට අවශ්‍ය වී තිබෙන කණ්‌ඩායමකින් මතුවී තිබෙන යෝජනාවක්‌ වන්නේ හංසයා පක්‍ෂයේ සභාපතිකම රනිල්ටත් ලේකම් ධුරය එ.ජා.ප. යේ හිටපු මහලේකම්වරයකු වන එන්. කේ. වී. ඩී. වේරගොඩ මහතාටත් දිය යුතු බවයි. එම පක්‍ෂයට නායකත්වය සපයන්නේ කවුදැයි ඇසූ විට අපට ලැබෙන පිළිතුර වන්නේ රනිල් හා සරත් ෆොන්සේකා යන දෙදෙනාම මෙයට නායකත්වය සැපයිය යුතු බවයි. මේ අතරතුර රනිල් වික්‍රමසිංහ මහතා එ.ජා.ප. ය හා මුස්‌ලිම් කොංග්‍රසය ඇතුළු පක්‍ෂ ගණනාවක්‌ එකතු වීමෙන් සාදන ලද එ.ජා. පෙරමුණේ නියෝජ්‍ය නායකකමත් සරත් ෆොන්සේකා මහතාට ලබාදීමට යෝජනාවක්‌ ඉදිරිපත් කොට ඇත.

කෙසේ නමුත් සරත් ෆොන්සේකා මහතාට දෙවැනියා වීමට නොහැකි ප්‍රශ්නයක්‌ ඇත. ඔහුට පළවෙනි තැනම අවශ්‍ය වී ඇත. ෆොන්සේකා මහතා තම හිතවතුන්ට පවසා ඇත්තේ පළාත් සභා මැතිවරණවලදී රට පුරාම ඡන්ද 26 ලක්‍ෂයක්‌ පමණක්‌ ලබා ගෙන වැලේ වැල් නැතුව සිටි එ.ජා.ප. යට තමන් පැමිණ එක්‌ වරම ඡන්ද ප්‍රමාණය ලක්‍ෂ 42 දක්‌වා වැඩිකර දුන් බවය. එමනිසා එ.ජා.ප. ය තමාගේ නායකත්වය යටතේ හංසයා ලකුණින් පාර්ලිමේන්තු මැතිවරණයටත් මුහුණදිය යුතු බවයි. මෙයට උඩගෙඩි දෙමින් ටිරාන් අලස්‌ මහතා ද එ.ජා. පාක්‍ෂිකයන්ට පවසා ඇත්තේ ඇතිකරගන්නා ලද විපක්‍ෂ සංධානය දිගටම පවත්වා ගත යුතු බවත් එය දෙකඩ කිරීමට උත්සාහ දරන උදවිය මහින්ද රාජපක්‍ෂගේ කොන්ත්‍රාත්තුවක්‌ සපුරන බවත් ය. ෆොන්සේකා පාර්ශවයේ මේ සියලු උත්සාහයන්ට ජ. වි. පෙ. ද සහයෝගය දක්‌වති. ඒ මන්ද යත් එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය තමන්ට තනිව තරග කිරිමට සිදුවුව හොත් කුමකින් කුමක්‌ වේ දැයි ඔවුන්වත් නොදන්නා නිසාය.

එ.ජා.ප. ය පැත්තෙන් ඇසෙන්නේ වෙනස්‌ කතාවකි. ඔවුන් පෙන්වා දෙන්නේ හංසයා ලකුණ යටතේ තරග කිරීමෙන් 2005 දී එ.ජා.ප. ය තනිව තරග කොට ලබාගත් ලක්‍ෂ 47 ට කිට්‌ටුවීමටවත් නොහැකි වූ නිසා තවදුරටත් හංසයා ලකුණින් තරග කිරීමෙන් පලක්‌ නැති බවයි. 2005 දී එ.ජා.ප. ය තරග කළේ ජ.වි.පෙ. සහයෝගයවත් දෙමළ ජාතික සංධානයේවත් සහයෝගයවත් නොමැතිවය. ඔවුන්ගෙන් ලැබුණු ඡන්ද ජෙනරාල් ෆොන්සේකාට ලැබුණු ලක්‍ෂ 41 න් අඩු කළ හොත් 2005 දී රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය ප්‍රකාශ කළ එ.ජා.ප. පාක්‍ෂෙsකයන් ලක්‍ෂ 10 ක්‌ පමණ ඡන්දය ප්‍රකාශ කොට නැති බව පැහැදිලි වෙයි. (2005 දී ලංකා කම්කරු කොංග්‍රසයත්, කඳුරට ජනතා පෙරමුණත් වික්‍රමසිංහ මහතාට සහයෝගය දුන්න ද පසුගිය ජනාධිපතිවරණයේදී ඔවුන් සිටියේ ආණ්‌ඩුව සමගය. එසේ වුවද කඳුරට දෙමළ ජනතාවගේ ඡන්ද එ.ජා.ප. ය හරහා සරත් ෆොන්සේකාට ලැබුණු බව පැහැදිලිය.) ඇරත් තමන්ගේම පාක්‍ෂිකයන් ලක්‍ෂ 10 ක්‌ පමණ ඡන්දය නොදී සිටීමට අමතරව පාවෙන ඡන්ද හා තරුණ ඡන්ද මාර සේනාවට ආකර්ශනය නොවූ බවද එ.ජා.ප. ය හො¹කාරවම දනී.

මේ සියලු කරුණු කාරණා නිසා හංසයා ලකුණ යටතේ තවදුරටත් තරග කිරීම, තමුන්ට තිබුණු දෙයක්‌ නැතිකර ගන්නා පොටක්‌ යන අවබෝධය එ.ජා.ප. ය තුළ මුල්බැසගෙන ඇත. නමුත් අනෙක්‌ පාර්ශවයෙන් කියා සිටින්නේ එ.ජා.ප. ය හංසයා ලකුණ යටතේ තරග කිරීමට එකඟ නොවන්නේ නම් ඔවුන් වෙනම තරග කරන බවය. මෙහිදී ඇතැම් අයට ඇතිවී තිබෙන බිය වන්නේ විපක්‍ෂය දෙකඩ වුවහොත් ඔවුන් රාජපක්‍ෂ ආණ්‌ඩුවට පහර දෙනවාට වඩා එකිනෙකාට පහරදී සියලු දෙනාම විනාශ වේවිද යන බියයි. මේ ප්‍රශ්නය සාධාරණව සිතා බලන කල ජෙනරාල් ෆොන්සේකාට අලියා ලකුණ යටතේ තරග කළ නොහැක්‌කේ මන්ද යන්න ගැන සාධාරන හේතු දැක්‌වීමක්‌ නැති බව පෙනේ. විපක්‍ෂයේ සිටින ජනප්‍රියම දේශපාලකයා රනිල් මිස ෆොන්සේකා නොවන බව පසුගිය ජනාධිපතිවරණයේදී සක්‌සුදත් සේ පැහැදිලි විය. තවද ෆොන්සේකා මහතා ජීවිත කාලය පුරාම රනිල්ට "සර්" කියා ආමන්ත්‍රණය කිරීමත් සැලියුට්‌ ගැසීමත් කර ඇති නිසා ඔහු යටතේ දේශපාලනය කිරීම එතරම් ප්‍රශ්නයක්‌ විය නොහැකිය. මෙතැනදී ජෙනරාල් ෆොන්සේකා පසුගිය වකවානුව පුරාම මනාවට පෙන්නුම් කළ පුහු මානය එනම් කිසිවකුටත් දෙවැනියා විය නොහැකිය යන අධිතක්‌සේරුව ක්‍රියාත්මක වෙමින් පවතින බව පැහැදිලිය.

මෙහිදී එ.ජා.ප. යට ඇති තෝරාගැනීම මෙයයි. රටේ ජනතාවට පිළිගත හැකි විපක්‍ෂයක්‌ හැටියට ගොඩනැගෙනවාද නැති නම් ජනතාවගෙන් බහුතරයක්‌ බියගන්වන මේ මාරසේනාවේම කොටසක්‌ බවට පත්වනවාද යන්නයි. මාරසේනාවේ සිටියොත් සුක්‌කානම තිබෙන්නේ මොනම දේශපාලනයක්‌වත් නොතේරෙන වෙන අරමුණු වලට දේශපාලනයට පිවිස සිටින සරත් ෆොන්සේකා, ටිරාන් අලස්‌, සේනක සිල්වා වැනි අය අතය. ඒ මදිවාට තුවක්‌කුවෙන් බලය ඩැහැගැනීමට නොහැකිවී වෙන විකල්පයක්‌ නොමැති නිසා කැමැත්තෙන් ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද වලට ඉදිරිපත් වන, තවමත් බලය බලහත්කාරයෙන්ම ඩැහැගැනීමේ සිහින මවමින් සිටින ජනතා විමුක්‌ති පෙරමුණ ද මොවුන් පසුපස සිටින බිම් මට්‌ටමේ සංවිධානය වනු ඇත. මෙවැන්නකින් එ.ජා.ප. යට සුගතියක්‌ වේ දැයි හොඳින් කල්පනා කොට තීන්දුවක්‌ ගත යුතුය.