.

Friday, January 2, 2009

අමතක වීම්, අමතක කිරීම් සහ නව වසරේ අපෙක්‌ෂා...!


සරත් ෆොන්සේකා විශ්‍රාමික හමුදා නිලධාරියකුව ජීවිතයේ සැඳෑ සමය ගත කරන්නට සිටියදී, යළිත් හමුදා සේවයේ පිහිටුවා අවසානයේ යුද වීරයකු වන්නට පරිසරය සකස්‌ කර දෙන්නට බරපතල දේශපාලන තීන්දුවක්‌ හා අවදානමක්‌ ගෙන ක්‍රියා කළේ කවුදැයි කියා අද ඔහුට අමතකය. නැතහොත් අමතක කර දමා ඇත. අද ඔහු අතීතයේ සියල්ල හිරු දුටු පිණි ලෙස සිය මතකයෙන් වියලා දමා අලුත උපන් පුද්ගලයකු ලෙස යුද වීරයකු වන්නට පාරම් බානා අන්දම දකින්නට ජුගුප්සාජනකය.

දින 365 ක්‌ ගෙවී ගොස්‌ දැන් නැවතත් අද සිට අලුත් වසරක්‌ උදාවී අවසන්ය. ශ්‍රී ලාංකික ජාතිය හැටියට අප දැන් මේ පියවර ඔසොවා ඇත්තේ 2010 වසරටය. අලුත් වසරක අප මෙන්ම අපගේ ආකල්ප විකල්පද සිතුම් පැතුම්ද අප අවට ඇති අනෙකුත් දේද අලුත් විය යුතු බව ප්‍රගතිශීලීන්ගේ අදහසයි.

ජාතියක්‌ ගොඩනැගී රටක්‌ ඉදිරියට ගෙන යා හැක්‌කේ අලුත් සිතුම් පැතුම් අලුත් අදහස්‌, අලුත් ආකල්ප, අලුත් ක්‍රියා පිළිවෙත්, අලුත් අලුත් නිර්මාණ ඔස්‌සේ බව නිසැකය.

එහෙත් මේ අලුත් වසරේ ඉහත කී අලුත්වීම් වලට බාධාකාරී වූ හේතු සාධක නම් බොහෝය. ඒ සියල්ල අපට ජාතියක්‌ ලෙස ඉදිරියට යැමට බාධාවක්‌ වී ඇති බව මගේ හැඟීමය.

මේ හේතු අතරේ ප්‍රධානතම කාරණය ලෙස මා දකින්නේ අමතක වීම්ය. නැතහොත් අමතක කිරීම්ය.

අද අපට ඇස ගැටෙන කන වැකෙන ජනමාධ්‍ය තුළින් නිරතුරුවම අපට අහන්නට දකින්නට ලැබෙන්නේ විවිධ අන්දමේ අමතක කිරීම් ගැනය. නැතහොත් අමතක වීම් ගැනය. මේ අතරින් ඇතැම් ඒවා නිරායාසයෙන් අමතක වීම්ය. ඇතැම් ඒවා හිත මතා අමතක කිරීම්ය. තවත් ඒවා වාසිය තකා අමතක කිරීම්ය. අද අප අත්විඳින මේ දේaශාපාලන සමාජ පරිසරයේ අපට වැඩිපුරම දකින්ට ලැබෙන්නේ මේ අවසානයට කී වර්ගයේ වාසිය තකා අමතක කිරීම් බව මගේ හැඟීමය.

ජාතියක්‌ ලෙස ඉදිරියට යැම ගැන සිතීම පවා වළකාලන ප්‍රධානතම සාධකය වී ඇත්තේ අද අපි අත්දකින මැතිවරණ සංස්‌කෘතියයි. මෙකී මැතිවරණ සංස්‌කෘතිය තුළ අමතකවීම් හා අමතක කිරීම් බහුලය. ඒ අමතක වීම් අමතක කිරීම් දේශපාලන සංස්‌කෘතියට අනුව වර්ග කළ හොත් හතර වර්ගයක කාණ්‌ඩවලින් අපට අසන්නට දකින්නට ලැබෙනු නිසැකය.

මෙහිදී අපට මුලින්ම හමුවන්නේ මෙරට පාලන තන්ත්‍රය හොබවන රජයට හා රජය කරවන උත්තමයන්ට අමතකවීම්ය. ඉන් පසුව අපට හමුවන්නේ රටේ ප්‍රධාන විපක්‍ෂය වන එක්‌සත් ජාතික පක්‍ෂයට හා එය ප්‍රමුඛ ගාමක බලවේගයේ වත්මන් නියමුවා ව සිටින ජනාධිපති අපේක්‍ෂක සරත් ෆොන්සේකාට අමතක වීම්ය. ඊටත් පසුව හමුවන්නේ බොහෝ විට මේ රටේ ජනමනස හැසිර වීමේදී තීරණාත්මකව බලපෑම් කළ (කර ඇති) ජනතා විමුක්‌ති පෙරමුණට අමතක වීම්ය. මේ සියල්ලටම වඩා වැදගත් ම අමතක වීම වනුයේ අවසන් එකය. එය වුකලී මේ රටේ ජනතාවට අමතකවීමය. සියල්ලට වඩා පුදුමය වන්නේද ජනතාවට අමතක වීමය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ප්‍රමුඛ වත්මන් ආණ්‌ඩුව මේ රටේ පාලන බලය ලබා ගත්තේ ජනතාව ඉදිරියේ එක්‌ ප්‍රධාන පොරොන්දුවක්‌ තබාය. මේ රට ත්‍රස්‌තවාදයෙන් මුදවාගෙන එක්‌ සේසත් කරනවාය යන්න ඒ පොරොන්දුවයි. ඔහු බලයට පත්වී වසර හතරක්‌ යන්නට මත්තෙන් ඒ පොරොන්දුව යථාර්ථවාදී සත්‍යයක්‌ බවට පත්කොට ඉටු කරන්නට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය සමත්වී ඇති බව නිසැක සත්‍යයකි.

ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ඒ අභිමානයට ගෙන ආවේ එවකට එක අරමුණක්‌ වෙනුවෙන් ගොණුවු දැවැන්ත ප්‍රගතිශීලී බලවේගයක කරමතින් බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂට නොව, තවත් බොහෝ දෙනෙකුට අමතකය. අද ඒ අති දැවැන්ත බලවේගය විසිරී ඉසිරී ගොස්‌ කෙට්‌ටු වී කේඩෑරී වී වෙන වෙනම ගමන් ගන්නා කණ්‌ඩායම් බවට පත්ව ඇත්තේ ඉහත කී අමතක වීම්වලට පව් සිදුවන්නටය.

එදා මේ ප්‍රගතිශීලී බලවේගය වෙනුවෙන් වැඩ කළේ නිදහස්‌ නිවහල් අදහස්‌වලින් පිරිපුන් නිර්මාණය ශීලී සත්‍ය ගරුක මිනිසුන් පිරිසක්‌ ස්‌වෙච්ඡාවෙනි. අද ඒ වෙනුවට මේ බලවේගය වටා සිටින්නේ කවුද. එක්‌ පැත්තකින් විචාතික බලවෙගයන්ය. අනෙක්‌ පසින් වරක්‌ කට ඇරියොත් ඡන්ද 50 ක්‌ 60 ක්‌ කඩා දමන කට වාචාලයෝය... එA අමතකවීම් ගැන කතා කිරීම නම් උඩ බලාගෙන කෙළ ගසා ගැනීමක්‌ හැර වෙනත් කිසිවක්‌ නම් නොවේ.

මෙවන් මැති වරණ කාල වකවානුවල වෙනදා නම් බරපතල ගණයේ අමතකවීම් වන්නේ එජාප නායක රනිල් වික්‍රමසිංහටය. එක්‌ වරක්‌ ඔහුට ඡන්දය පවත්වන දිනය පවා අමතකව ගිය හැටි අපට මතකය. අද එA වෙනුවට අපූරු අනුප්‍රාප්තිකයකු පැමිණ සිටියි. එA විපක්‍ෂ බලවේගයේ ජනාධිපති අපේක්‍ෂක සරත් ෆොන්සේකාය.

සරත් ෆොන්සේකා විශ්‍රාමික හමුදා නිලධාරියකුව ජීවිතයේ සැඳෑ සමය ගත කරන්නට සිටියදී, යළිත් හමුදා සේවයේ පිහිටුවා අවසානයේ යුද වීරයකු වන්නට පරිසරය සකස්‌ කර දෙන්නට බරපතල දේශපාලන තීන්දුවක්‌ හා අවදානමක්‌ ගෙන ක්‍රියා කළේ කවුදැයි කියා අද ඔහුට අමතකය. නැතහොත් අමතක කර දමා ඇත. අද ඔහු අතීතයේ සියල්ල හිරු දුටු පිණි ලෙස සිය මතකයෙන් වියලා දමා අලුත උපන් පුද්ගලයකු ලෙස යුද වීරයකු වන්නට පාරම් බානා අන්දම දකින්නට ජුගුප්සාජනකය.

අද ඔහු දඟලන්නේ යුද ජයග්‍රහණයේ කීර්තිය නමැති කිරුළ තනිව හිස පළන්දා ගැනීමටය.

2005 දී ජනාධිපතිවරයා බලයට පත් කරන්නට වෙහෙස මහන්සි වූ ජ.වි.ප.ය ට ද අද අතීතය අමතකය. ජවිපයේ ඉතිහාසය අමතකය. ඔවුන් ඉතිහාසය තුළ දෙවරක්‌ ලෙයින් යකඩින් මර්දනය කළ මර්දනකාරී ආණ්‌ඩු මෙහෙයවනු ලැබුවේ කවුද කියා අමතකය. අද එකපෙළට එකට සිටගෙන සිටින ඇතැම් නායකයන්ගේ දේශපාලන කැරැට්‌ටුව අමතකය. ඔවුන් එදා කළ කී දේ අමතකය. මේ අමතකවීම් නිසා මොළේ මඤ්Æං වී සිටින ජවිපයේ ඇතැම් නායකයන්ට අද ජනාධිපති මහින්දට විරුද්ධව ඡන්දය ඉල්ලන සරත් ෆොන්සේකාගේ ඡන්ද ලකුණ සීනුව නොව හංසයා බවද අමතකය.

මේ අමතකවීම් ගැන නම් මේ රටේ කප්පරක්‌ කතාය. උදාහරණ එමටය. සාධක අපමණය.... එහෙත්...

මේ සියල්ලටම වඩා භයානකම අමතක කිරීම කර ඇත්තේ මේ රටේ පොදු ජනතාව බව මගේ හැඟීමය.

අතීතයේදී මේ රටේ කොටි ත්‍රස්‌තවාදය නමින් යමක්‌ තිබුණාය කියා ඔවුන්ට දැන් අමතකව ගොස්‌ය. කොටි සංවිධානය නමින් තිබුණේ අති භයානක ත්‍රස්‌තවාදී සංවිධානයක්‌ බවද අමතකව ගොස්‌ අවසන්ය. එහි නායකයා සුරතල් පූස්‌ පැටවකු නොව, භයානක පුල්ලි සහිත කොටියකුටත් වඩා භයානක ත්‍රස්‌තවාදියකු බවද අමතකය. ඔවුන් මේ රටේ දස දහස්‌ ගණනින් මිනීමැරූ බවද අමතකය.

සිය සැමියා, පියා, පුතා හෝ දුව උදේ වැඩට, පාසලට යන විට හවස ගෙදර එන්නට වේදැයි සිත සිතා නිවෙස්‌වල උදවිය අකම්පාලවෙමින් හූල්ලමින් බලා සිටි අතීතයක්‌ අපට තිබුණ බව ද අමතකය. කොටින්ම මේ මුළු රටම එකම මළ ගෙයක්‌ව එකම ගිනි ගොඩක්‌ව තිබුණ යුගය මාස කිහිපයක ඇවෑමෙන් මේ රටේ ජනතාවට අමතකව ගිය සැටි පුදුමය. එA අතිබිහිසුණු අභාග්‍යසම්පන්න යුගයෙන් මේ රට මුදවා ගත්තේ කවුද කෙසේද යන්න අමතක කර හරින්නට තරම් මේ රටේ ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක්‌ අකෘතඥ වී සිටීම ගැන මුළු රටම දුක්‌විය යුතු බව මගේ හැඟීමය.

දේශපාලනය හා එA එA පාට කණ්‌ණාඩි එA තරමටම මේ රටේ ජනතාවගේ මනස විකෘති කොට ඇස්‌ නිලංකාර කර ඇති බව නිසැකය.

නව වසර උදාවෙත්ම එළැඹෙන්නේ මැතිවරණ සහිත වසර කාර්තුවකි. අමතකවීම්වලට හා අමතක කිරීම්වලට තෝතැන්නක්‌ වූ මැතිවරණ සමයක්‌ විසින් රටේ අනාගත අභිවෘද්ධියට කරන විනාශය සුළුපටු නොවේ.

මැතිවරණ සමය මාස තුනකින් නිමාවනු නිසැකය. මේ මැතිවරණය කොතරම් උණුසුම් වුවත් ඉන් නැවත වතාවක්‌ ජය ගන්නේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂයන්ම බව මාගේ පුද්ගලික හැඟීමය.

එහෙත් එA ජයග්‍රහණය අලුත් වසරක අලුත් දේශපාලන සංස්‌කෘතියක නව ඇරඹුමක්‌ ලෙස රට ඉදිරියට ගෙන යා හැක්‌කේ අමතකවීම් හා අමතක කිරීම් තුළින් නොව, මතක තබා ගැනීම් හා මතක්‌ කර ගැනීම් තුළිනි.

බුලිත ප්‍රදීප් කුමාර